78 වන නිදහස් දින පණිවිඩය උතුරු පළාත් ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් විසිනි.

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ, උතුරු පළාතේ සියලුම ජනතාවට මගේ සුභ පැතුම් පිරිනමමි.

නිදහස යනු අතීතය සැමරීම සඳහා වන චාරිත්‍රානුකූල සිදුවීමක් පමණක් නොව, එය අපගේ අනාගතය හැඩගස්වා ගැනීමට අවස්ථාවක්. ජාතිය, ආගම සහ භාෂාව යන වෙනස්කම් ජය ගැනීමට සහ එකමුතුකම, සාමය සහ සමෘද්ධිය මුල් කරගත් ජාතියක් ගොඩනැගීමට අපගේ අධිෂ්ඨානය අලුත් කළ යුතු කාලය මෙයයි.

උතුරු පළාත රටේ ඉතිහාසයේ සහ එහි අනාගත සංවර්ධනයේ ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත. උතුරේ සමෘද්ධිය සමස්ත රටේ සමෘද්ධිය සමඟ බැඳී පවතී. එබැවින්, උතුරු පළාතේ ජීවත් වන සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට ගෞරවනීය ජීවනෝපායක් සහ සමාන අයිතිවාසිකම් සහතික කිරීම අපගේ සාමූහික වගකීමකි.

අවංක පාලනය, දූෂණයෙන් තොර රාජ්‍ය සේවය සහ සංවර්ධනය කරා යන ගමනේදී අපගේ රට නව මාවතකට අවතීර්ණ වී තිබේ. මෙම වෙනස තුළින්, උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන යාමට අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.

සැමට නිදහස් දින සුභ පැතුම්!