වෙළඳ ප්‍රදර්ශන යනු ප්‍රදර්ශන පමණක් නොවේ. ඒය ආර්ථික වර්ධනයේ යන්ත්‍රයක් වේ. – යාපනය වෙළඳ ප්‍රදර්ශනයේදී ගරු ආණ්ඩුකාරතුමා

අපගේ සාමූහික ඉලක්කය වන්නේ යාපනය ශ්‍රී ලංකා ආර්ථිකයේ හවුල්කරුවෙකු ලෙස පමණක් නොව, නවෝත්පාදනයේ සහ වෙළඳාමේ ගාමක බලවේගයක් ලෙස ස්ථානගත කිරීමයි. මෙම ප්‍රදර්ශනය ඒ සඳහා හොඳම සාක්ෂිය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය.

උතුරු පළාතේ වෙළඳ ප්‍රදර්ශනය වන ‘යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026’, 16 වන වසර සඳහා ඉතා හොඳ ආකාරයකින් සංවිධානය කර ඇත. එහි සමාරම්භක උත්සවය මෙම සිකුරාදා (2026.01.23) උදෑසන යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සහ රැස්වීම අමතමින් ගරු ආණ්ඩුකාරතුමා මේ බව පැවසීය. සිය කතාව තවදුරටත් පවත්වමින් ඔහු මෙසේ පැවසීය:

වෙළඳ ප්‍රදර්ශන යනු ප්‍රදර්ශන පමණක් නොවේ. එය ආර්ථික වර්ධනයේ යන්ත්‍රයක් වේ. නව හවුල්කාරිත්වයන් සඳහා දොරටු විවෘත කිරීමෙන් ආයෝජන උත්තේජනය කරයි. ඒවා පිළිගැනීම සහ විශ්වාසය ලබා දීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බලගන්වයි.

මෙම ප්‍රදර්ශනය මගින් යාපනයේ අද්විතීය නිෂ්පාදන, ඒවා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අත්කම් භාණ්ඩ හෝ තාක්ෂණය වේවා, ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ළඟා වන බව සහතික කරමින් කලාපීය සංවර්ධනය ශක්තිමත් කරයි.

අපගේ අනාගතය කරා යන ගමනේදී, අපගේ කර්මාන්ත ගෝලීය වෙළඳපොළ තුළ තරඟකාරී කිරීම සඳහා ‘ඩිජිටල් පරිවර්තනය’ වැළඳ ගත යුතුය. ඒ සමඟම, පරිසරය ආරක්ෂා කරන තිරසාර භාවිතයන් සඳහා අප ආයෝජනය කළ යුතුය.

යාපනයේ සමෘද්ධියේ ඊළඟ අදියර හැඩගස්වන අපගේ තරුණ හා කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කළ යුතුය. යෝජිත ‘උතුරු වාණිජ මණ්ඩල ජාලය’ අනාගතයේදී අපගේ ආර්ථික සංවර්ධනයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

උතුරු පළාත දැන් ආයෝජන සඳහා හිතකර පරිසරයකි. වත්මන් රජය දැනටමත් උතුරු පළාතේ නව ආයෝජන කලාප තුනක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. උතුරේ සම්පත් බොහොමයක් තවමත් ප්‍රයෝජනයට ගෙන නොමැත. අපගේ පළාතේ තරුණයින්ට රැකියා ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට උතුරේ දායකත්වය වැඩි කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස මම සියලුම ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටිමි, ඔහු පැවසීය.

යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා එක්ව සංවිධානය කරන ලද ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයෙන් පසුව, සංගීත භාණ්ඩ සමඟින් අමුත්තන් යාපනයේ මුත්තවෙලි ක්‍රීඩාංගණයට ගෙන එන ලදී. එහිදී පීත්ත පටිය කපා ප්‍රදර්ශන ශාලා නිල වශයෙන් විවෘත කරන ලදී. මෙයින් පසු, ගරු ආණ්ඩුකාරතුමා සහ අමුත්තන් වෙළඳ ශාලා නැරඹීමට ගියහ. විශේෂත්වය වන්නේ වෙළඳ ශාලා 400 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා තිබීමයි.

මෙම අවස්ථාවට ගරු කේ. ඉලංගුමාරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී සායි මුරලි, යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්, දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන්, ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් ධර්මදාස සහ අධ්‍යක්ෂ ඒ.එෆ්.එම්. ෆාරුක්, යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කුලසිංහම් වසීගරන්, එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය කේ. විග්නේෂා;, ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාර ඉමල්කා මුල්ලේගම, ව්‍යාපාරික පුද්ගලයින් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයින් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූහ.