*මාධ්‍ය වාර්ථා අංක: 26/01/27*

*”ආයෝජකයින් අසාර්ථකත්වයෙන් ආපසු හැරී ගිය ඉතිහාසය අවසන්; උතුරේ ආයෝජන සඳහා යුගයක් ආරම්භයි!” – සමුළුවේදී ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය*

ගත වූ කාලවලදී උතුරු පළාතේ ආයෝජන කිරීමට පැමිණි අය, අහිතකර තත්ත්වයන් හේතුවෙන් ආපසු හැරී ගිය බව ඉතිහාසයයි. නමුත් වත්මන් රජයේ පාලන සමයේදී ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් සෑදී ඇත. මේ අවස්ථාවේ ‘උතුරු ආයෝජන සමුළුව – 2026’ පැවැත්වීම ඉතා යෝග්‍ය වේ. මෙම අවස්ථාව උපයෝගී කරගෙන, ජාතික සමස්ත නිෂ්පාදනයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය.

උතුරු පළාත් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ‘උතුරු ආයෝජන සමුළුව – 2026’ (Northern Investment Summit – NIS26) යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මණ්ඩපයේ අද බදාදා (21.01.2026) උදෑසන මහත් ආලංකාරයෙන් ආරම්භ විය. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ‘ද මැනේජ්මන්ට් ක්ලබ්’ (TMC) විසින් සංවිධානය කර තිබුණි.

සමුළුවට සහභාගී වී කථා කළ ආණ්ඩුකාරවරයා:

ඉතිහාසමය වැදගත්කමක් ඇති යාපනය නගරයේ පැවැත්වෙන මෙම උත්සවය සරල සමුළුවක් පමණක් නොව, උතුරු පළාතේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට අප සියලු දෙනා එකතුවී සාක්ෂි වන්නේය.

ස්වභාවික සම්පත්, නැවත නැගී එන ශක්තියක් ඇති මානව මූලධනය සහ ගැඹුරු සංස්කෘතික උරුමය තිබියදීත්, දිගු කලක් මෙම පළාත අප රටේ ජාතික සමස්ත දේශීය නිෂ්පාදනයට ඉතා අඩු දායකත්වයක් පමණක් ලබාදී තිබුණි. අද, ‘වර්ධනය ශක්තිමත් කිරීම, නවීන දෘෂ්ටියෙන් යුත් නවෝත්පාදන’ (Empowering Growth, Insightful Innovations) යන තේමාව යටතේ, එම ඉතිහාසය වෙනස් කිරීමේ කටයුතු අප ආරම්භ කරමින් සිටිමු.

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසාධනයෙන් දිගුකාලීන ස්ථාවර වර්ධනය වෙත ගමන් කිරීමට සූදානම් වන මෙම අවස්ථාවේ, මෙම උත්සවය ඉතා සුදුසු කාලයකදී පැවැත්වෙයි. කිසිදු පළාතක් පසුබැසී නොතැබිය යුතුය යන මූලධර්මය මත, ගෞරවනීය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ‘සියලු දෙනා ඇතුළත් ආර්ථිකය’ යන දුරදර්ශී දැක්ම සහ මාර්ගෝපදේශනය යටතේ මෙම උත්සාහය ඉදිරියට ගෙන යනු ලැබේ.

අපගේ ඉතිහාසය ආපසු හැරී බැලූ විට, උතුරු පළාත සෑම විටම ‘විශිෂ්ටත්වයට පිවිසෙන දොරටුවක්’ ලෙස පවතිමින් ඇත. එම ගෞරවය නැවත ලබාගැනීමම මෙම සමුළුවේ අරමුණ වේ.

කෘෂිකර්මය සහ මත්ස්‍ය කර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය, සහ බලශක්තිය යන මූලෝපායමය කුළුණු හතර කෙරෙහි අවධානය යොමු කිරීම මගින්, අපගේ යෞවන සමාජයේ දක්ෂතාත්, ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම්ත්, ජාත්‍යන්තර මුල්ධන හා නව්‍යකරණයන් සමඟ සම්බන්ධ කරන මාර්ගසටහනක් අප විසින් සකස් කරමින් සිටිමු.

අද සිදුකරන ආයෝජන මගින් උතුරු පළාතේ සෑම පුරවැසියකුටම ස්ථාවර රැකියා අවස්ථා, සක්‍රීය ව්‍යාපාරික උත්සාහයන් සහ සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීම සහතික කරගැනීමට අප සියලුදෙනා එකමුතුවෙන් වැඩ කරමු,” යනුවෙන් ආණ්ඩුකාරවරයා පැවසීය.

මංගල වාද්‍ය නාද සමඟ අමුත්තන් උත්සව ශාලාවට කැඳවාගෙන ආ පසු ජාතික ගීය වාදනය කරන ලද අතර මංගල පහනද දැල්විය. පිළිගැනීමේ දේශනය ‘ද මැනේජ්මන්ට් ක්ලබ්’ (TMC) – ශ්‍රී ලංකා සභාපති රොජර් තලයරත්න විසින් සිදුකළ අතර, සමුළුවේ අරමුණ සහ හැඳින්වීමේ දේශනය සමුළුවේ සභාපති ඉන්දික කෞශල් රාජපක්ෂ විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යාපාරශීලීත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති, මත්ස්‍ය, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක. ඉලංගුමරන් යන මහත්වරු සහභාගී වූහ.

තවද, ශ්‍රී ලංකාව සඳහා වූ බ්‍රිතාන්‍ය හා මැලේසියානු මහ කොමසාරිස්වරුන්, යාපනයේ පිහිටි ඉන්දියානු උප මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සුල් ජනරාල් සයි මුරලි, දකුණු ඉන්දියාව සඳහා වූ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්, අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දේශීය හා විදේශීය ආයෝජකයින් ඇතුළු බොහෝ දෙනාද සහභාගී වූහ.