යාපනයේදී ඊළාම් දෙමළ කලාකරුවන්ගේ සංගමයේ සංවිධානයෙන් ඊයේ (27.10.2026) පැවැති ‘කරුම්බරවෛ’ ඩිජිටල් විකාශන වේදිකාව එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා, ඊළාම් දෙමළ සිනමා කර්මාන්තය සඳහා ගෝලීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. දේශීය කලාකරුවන්ගේ නිර්මාණ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව වෙත ළඟා කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණශීලී ශ්රමයට සාධාරණ ආදායමක් ලබාගැනීමටත් මෙම නව ඩිජිටල් වේදිකාව මඟ පාදිය යුතු බව ගරු ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේය.
ඊළාම් දෙමළ කලාකරුවන්ගේ දක්ෂතාවන්හි කිසිදු අඩුවක් නොමැති බව පෙන්වා දුන් ගරු ආණ්ඩුකාරතුමා, වෙළෙඳපොළ අවස්ථා සහ ආර්ථික සහාය නොමැතිකම මෙම ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග බව සඳහන් කළේය. චිත්‍රපට යුද්ධය පමණක් කේන්ද්‍ර කර නොගෙන, ඊළාම් දෙමළ ජනතාවගේ අනන්‍ය ජීවන රටාව, ප්‍රේමය, හාස්‍යය, තරුණ පරපුරේ සිහින ඇතුළු විවිධ අංශ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවද එතුමා ඉල්ලා සිටියේය.
තවද, කලාත්මක ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් වාණිජමය අංග ද ඒකාබද්ධ කර නිර්මාණ බිහි කළ යුතු බව ගරු ආණ්ඩුකාරතුමා අවධාරණය කළේය. ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිර්මාණ සඳහා සාධාරණ මිලක් ගෙවා ඒවාට සහාය දැක්වීම ප්‍රේක්ෂකයන්ගේ වගකීමක් බවද එතුමා සඳහන් කළේය.
විදේශයන්හි පදිංචිව සිටින දෙමළ ජනතාවට මව්බිමේ කලා ක්ෂේත්රය සමඟ පවතින සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, නව නිෂ්පාදකයන් බිහිවීමටත් මෙම වේදිකාව උපකාරී වනු ඇති බව ගරු ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේය. මෙම උත්සාහය වෙනුවෙන් එතුමා සිය සුබපැතුම් ද පිරිනැමීය.
මෙම අවස්ථාවට ඊළාම් දෙමළ කලාකරුවන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය විශේෂඥ එස්. සිවන්සුදන් මහතා, උප ලේකම් මතිකරන් මහතා, මෙම වේදිකාවේ අධ්යක්ෂ එස්. ෂර්මන් මහතා, බැංකු නිලධාරීන්, කලා ක්ෂේත්රයේ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.



