එක් කලෙක බියකරු මතකයන් රැගත් අපගේ අහස, මින් ඉදිරියට අපගේ දරුවන්ගේ සිහින සහ ජයග්‍රහණ දරා සිටිනු ඇත – ගරු ආණ්ඩුකාරතුමා

වවුනියාව ඉරම්පයිකුලම් බාලිකා මහා විද්‍යාලයීය ජාතික පාසලේ ‘සෙංචිරගුකල්’ ගුවන් සේවා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගුවන් සේවා දිනය – 2026’ අද (28.10.2026) අක්වයිනාස් ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා, අතීතයේදී අපේ අහසේ පියාසර කළ ගුවන් යානා ජනතාව තුළ භීතියක් ඇති කළද, මින් ඉදිරියට එම අහස අපේ දරුවන්ගේ සිහින හා ජයග්‍රහණ දරා සිටිය යුතු බව ප්‍රකාශ කළේය.

පාසල් පෙළපොත් අධ්‍යාපනයට සහ සාම්ප්‍රදායික වෘත්තීය ක්ෂේත්‍රවලට පමණක් සීමා නොවී, ලෝකයේ රටවල් එකිනෙක සම්බන්ධ කරන ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි ශිෂ්‍යාවන් උනන්දුවක් දැක්වීම අගය කළ යුතු කරුණක් බව ගරු ආණ්ඩුකාරතුමා සඳහන් කළේය.

ගුවන් නියමුවරියක වීම පමණක් නොව, ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව, ගුවන්තොටුපළ මෙහෙයුම් සහ ගුවන් ගමන් පාලනය වැනි විවිධ වෘත්තීය අවස්ථා මෙම ක්ෂේත්‍රය තුළ පවතින බවද එතුමා පෙන්වා දුන්නේය. මෙම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවිය යුතු බවද එතුමා අවධාරණය කළේය.

මෙම ක්ෂේත්‍රයේ සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක දැනුම මෙන්ම යහපත් විනයක් හා සන්නිවේදන කුසලතාද වර්ධනය කරගත යුතු බව ගරු ආණ්ඩුකාරතුමා ශිෂ්‍යාවන්ට උපදෙස් දුන්නේය.

මෙවැනි ආදර්ශවත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ විදුහල්පතිනි ජෙනිටා ෂියාමිනි පැවිදි සොහොයුරියට සහ ‘ඒරෝවින්ග්ස්’ සංවිධානයට සිය ප්‍රශංසාව පළ කළ ගරු ආණ්ඩුකාරතුමා, මෙවැනි නව ක්ෂේත්‍රයන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා අනෙකුත් පාසල් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ද ඉදිරිපත් විය යුතු බව ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ හැඳින්වීමේ වැඩසටහන් මෙන්ම කළු පෙට්ටිය පිළිබඳ අභියෝගාත්මක වැඩසටහනට සහභාගී වූවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක්ද පැවැත්විණි.