යාපනය වීරසිංහම් ශාලාව අසල පිහිටි දුරගමන් බස් නැවතුම්පොළෙන් ඒකාබද්ධ කාලසටහනට අනුව බස් සේවා අද (27.10.2026) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. යාපනය නගරයේ රථවාහන තදබදය අවම කරමින් නගරයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සපයන්නන් මෙම බස් නැවතුම්පොළේ සිට සිය සේවාවන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමා මෙහිදී අවධාරණය කළේය.
අධිකරණ නියෝගයට අනුව දිගු කලක් පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට නොගෙන පැවති මෙම බස් නැවතුම්පොළෙන් බස් සේවා යළි ආරම්භ කර ඇති බව සඳහන් කළ ගරු ආණ්ඩුකාරතුමා, ඒකාබද්ධ කාලසටහනට අනුකූලව කටයුතු නොකරන පාර්ශ්වයන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
තවද, ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගේ නගර දහයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ යාපනය සහ වවුනියාව යන නගර තෝරාගෙන ඇති බව ද ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු සු. විමලේස්වරන් මහතා, අධිකරණ නියෝගයට අනුව සකස් කරන ලද ඒකාබද්ධ කාලසටහනට අදාළ පාර්ශ්ව දෙකම අත්සන් තබා ඇති බව සඳහන් කළේය. එම කාලසටහන උල්ලංඝනය කරමින් කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ක. ඉළංගුමරන් මහතා, පළාත් පාලන කොමසාරිස් සාම්බසිවම් සුදර්ශන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රවාහන සංගම් නියෝජිතයෝ සහභාගි වූහ.




