චාවකච්චේරිය, සරසාලෙයි ප්රදේශයේ අලුතින් ඉදිකරන ලද “Comfort care Home ” සහන සත්කාර මධ්යස්ථානය අද (24.10.2026) විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා, වර්තමානයේ ඒකාබද්ධ පවුල් ක්රමය වෙනුවට කුඩා පවුල් ක්රමය ව්යාප්ත වීම හේතුවෙන් වැඩිහිටියන් රැකබලා ගැනීම විශාල අභියෝගයක් බවට පත්ව ඇති බව සඳහන් කළේය. මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් තුළ විදේශගතව ජීවත් වුවද මව්බිමේ අවශ්යතා හඳුනාගෙන මෙම උදාර සමාජ මෙහෙවර ඉටු කරන පරිත්යාගශීලීන්ගේ ක්රියාකලාපය ඉතා අගය කළ යුතු බව ද ගරු ආණ්ඩුකාරතුමා ප්රකාශ කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය ගරු අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, වෛද්ය ප්රතිකාර මගින් සුව කළ නොහැකි අවසන් අවධියේ රෝගවලින් පීඩා විඳින රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද සහනය සහ මානසික සැනසීම ලබාදීම ප්රමුඛ වගකීමක් බව සඳහන් කළේය. විදේශ රටවල ජීවත් වුවද මව්බිම පිළිබඳව සැලකිල්ලක් දක්වමින් මෙවැනි සේවාවන් ක්රියාත්මක කිරීම තුළින් ඔවුන් සැබෑ ශ්රී ලාංකිකයන් බව සනාථ කර ඇති බව ද ගරු අමාත්යතුමා පෙන්වා දුන්නේය.
මෙම මධ්යස්ථානය සාමාන්ය වැඩිහිටි නිවාසයක් නොවන අතර, තවත් මාස දෙකකට අඩු ආයු කාලයක් පවතිනු ඇතැයි වෛද්යවරුන් විසින් තක්සේරු කර ඇති, තවදුරටත් සුව කිරීමේ ප්රතිකාරවලට වඩා වේදනා සමනය සහ සහනදායී රැකවරණය අපේක්ෂා කරන රෝගීන් සඳහා වූ විශේෂිත මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වේ.
මෙහි තනි කාමර 20ක් පවතින අතර, වෛද්ය නිර්දේශ මත වේදනා සමන ප්රතිකාර, ඔක්සිජන් ප්රතිකාර සහ පැය 24 පුරා හෙද සත්කාර ඇතුළු අත්යවශ්ය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට ගරු අමාත්ය රාමලිංගම් චන්ද්රසේකරන් මහතා, මධ්යස්ථානයේ නිර්මාතෘ වෛද්ය කේ. දේවකාන්තන් මහතා, සිවභූමි පදනමේ නිර්මාතෘ ආචාර්ය ආරු. තිරුමුරුගන් මහතා සහ සෞඛ්ය ක්ෂේත්රයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




