උතුරු පළාතේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ දෘෂ්ටි දුර්වලතා පවතින බව “පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක් – දෙවන අදියර” ව්‍යාපෘතිය මගින් අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සකස් කරන ලද සවිස්තරාත්මක වාර්තාව යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය එම්. මලරවන් මහතා විසින් අද (26.10.2026) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහට අයත් අධ්‍යාපන කලාප 13ක් ආවරණය කරමින් පසුගිය ජූලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ සිසුන් 14,997 දෙනෙකු (92.6%) අක්ෂි පරීක්ෂාවට ලක් කර ඇත. එම සිසුන් අතරින් 1,455 දෙනෙකුට (9.7%) දෘෂ්ටි දුර්වලතා පවතින බව හඳුනාගෙන තිබේ. ඔවුන් අතරින් සිසුන් 1,326 දෙනෙකු ඇස් කණ්ණාඩි භාවිත නොකරන අය බව ද අනාවරණය වී ඇත.
එමෙන්ම, අක්ෂි පරීක්ෂාවට සහභාගී නොවූ අනෙකුත් සිසුන් ද පරීක්ෂාවට ලක් කිරීම සඳහාත්, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය සිසුන්ට එම ප්‍රතිකාර ලබාදීම සඳහාත් දෙමාපියන් සහ පාසල් ප්‍රජාව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
පාසල් වර්ගය හෝ පරිපාලන ක්‍රමය කුමක් වුවද, සියලුම සිසුන්ට මෙවැනි සෞඛ්‍ය සේවාවන් සමානව ලබාගැනීමට හැකි බව සහතික කළ යුතු බව ගරු ආණ්ඩුකාරතුමා අවධාරණය කළේය. තවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා නොදුන් විදුහල්පතිවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට අමතරව, මෙම ව්‍යාපෘතිය යටතේ දූපක සහ වවුනියාව දකුණ අධ්‍යාපන කලාපවල දෘෂ්ටි දුර්වලතා සහිත බව හඳුනාගත් සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ද මෙහිදී ප්රදානය කරන ලදී.
Alaka Foundation, Assist RR UK & Sri Lanka සහ නකුලේස්වරි වාසුදේවන් මහත්මියගේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළ වාර්තාව භාරදීමේ අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්තුමිය , අමාත්‍යාංශ ලේකම්වරුන්, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ සෞඛ්‍ය හා අධ්‍යාපන දෙපාර්තමේන්තු වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



