ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් ශිෂ්‍යයා අගය කරමු. අනෙකුත් සිසුන්ද එලෙසම ප්‍රථම ස්ථානයට පැමිණීමේ දැඩි අභිප්‍රායෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා පවසයි.

“ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් ශිෂ්‍යයා අපි මෙහිදී ඇගයීමට ලක් කරන්නෙමු. මෙම ඇගයීම දැක, මෙහි සිටින අනෙකුත් සිසුන්ද තමන්ද එලෙසම ප්‍රථම ස්ථානයට පැමිණීමේ දැඩි අභිප්‍රායෙන් අධ්‍යාපනය ලැබිය යුතුය,” යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගන් මහතා පැවසීය.

2025 වසරේ පැවැත්වුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 194 ක් ලබාගනිමින් දෙමළ මාධ්‍යයෙන් සමස්ත ලංකා මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ආනන්දජෝති ලක්ෂයන් (Ananthajothi Lakshyan) සිසුවා ඇගයීමේ විශේෂ උත්සවයක් අද (2026.07.27) සඳුදා දින විද්‍යාලීය ශාලාවේදී පැවැත්විණි. ජපානයේ පැවැත්වුණු ආසියා පැසිෆික් ළමා සම්මේලනයේදී (BRIDGE SUMMER CAMP 2026) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණිෂ්ඨ තනාපතිවරයකු ලෙස සහභාගී වී දස්කම් දැක්වීම වෙනුවෙන්ද මෙම සිසුවා මෙහිදී විශේෂ ඇගයීමට ලක්කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් සිසුවා ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:

“උතුරු පළාතේ, විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ඉහළින්ම පැවැති ස්වර්ණමය යුගයක් තිබුණා. වර්තමානයේ එම තත්ත්වයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, ආනන්දජෝති ලක්ෂයන් සිසුවා අපගේ පෙර පැවැති තත්ත්වයට නැවත ළඟා විය හැකි බවට වන විශ්වාසය අප අතර රෝපණය කර තිබෙනවා.

මා ආනන්දජෝති ලක්ෂයන් සිසුවාට මගේ හදපිරි සුබපැතුම් පිරිනමනවා. ඔහු තම විද්‍යාලයට සහ දෙමාපියන්ට මහත් ගෞරවයක් අත්කර දී තිබෙනවා. මෙම ජයග්‍රහණය ඔහුට එතරම් පහසුවෙන් ලබාගත නොහැකි වන්නට ඇති. අධ්‍යාපනය වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම, උත්සාහය සහ උනන්දුව උදෙසා ලැබුණු ත්‍යාගයක් ලෙසයි මෙම ජයග්‍රහණය සහ ගෞරවය ඔහු වෙත හිමිවී තිබෙන්නේ.

අද දින මෙම සිසුවා ඇගයීමට ලක්කිරීම අනෙකුත් සිසුන්ද විශාල වශයෙන් දිරිගන්වනු ඇත. බොහෝ සිසුන්ට මෙය හොඳ පෙළඹවීමක් ඇති කරනු ඇත. අනෙකුත් සිසුන්ද මොහු මෙන්ම දස්කම් දැක්විය යුතුයි කියා සිතිය යුතුයි; ඒ වෙනුවෙන් දැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් ඉගෙන ගත යුතුයි. අධ්‍යාපනයෙන් පමණක් උසස් වීම ප්‍රමාණවත් නැත, ඊට අනුකූලව ඔබේ යහගුණාංග සහ මානුෂීය ගුණධර්මද වර්ධනය කරගත යුතුයි.

මෙම විද්‍යාලයට අපගේ සමාජයේ ඇති උසස්ම පිළිගැනීම පිළිබඳව මා හොඳින් දන්නවා. මෙහි තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බොහෝ දෙමාපියන්ගේ මහත් බලාපොරොත්තුවක් වී තිබෙනවා. 1 ශ්‍රේණිය ඇතුළත් කිරීම් සඳහා කොපමණ දෙමාපියන් පිරිසක් උත්සාහ කරනවාද යන්න මා දන්නවා. බොහෝ දෙනෙක් මා වෙත පැමිණ නිර්දේශ කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් මා එය කරන්නේ නැහැ. එක් අයෙකුට කළහොත් සෑම දෙනාටම එය කළ යුතුයි. එමනිසා, මෙවැනි වැරදි පූර්වාදර්ශයන්ට මා කිසිවිටෙකත් සහාය දක්වන්නේ නැහැ. මෙම විද්‍යාලය ජාතික මට්ටමින් දස්කම් දක්වන සිසුන් අඛණ්ඩව බිහිකරනු ඇතැයි මා සුබපතනවා,” යැයි ආණ්ඩුකාරවරයා පැවසීය.

විද්‍යාලයේ විදුහල්පති L. ශිවපාදම් මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම ඇගයීම් උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ L. මාලති මුකුන්දන් මහත්මිය සහභාගී වූවාය. තවද, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් B. ගජදීපන් මහතා, සිසුවාගේ දෙමාපියන්, සිසුවාට පන්ති භාරව කටයුතු කළ ගුරුවරයා, හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.