යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා වන භාරකාර අරමුදල් පාලක මණ්ඩලය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වූ අවසාන එකඟතාවයට පැමිණේ.

යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා වන භාරකාර අරමුදල් පාලක මණ්ඩලය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වූ අවසාන එකඟතාවයට අද (2026.07.27) සඳුදා පැවැත්වුණු ‘සංයුක්ත කළමනාකරණ කමිටු’ රැස්වීමේදී එළඹෙන ලදී.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙම 7 වැනි සංයුක්ත කළමනාකරණ රැස්වීමට උසස් මට්ටමේ නියෝජිතයින් රැසක් විවිධ ස්ථානවල සිට සම්බන්ධ වූහ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සිට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන්, ආණ්ඩුකාර ලේකම් සහ යාපනය මහා නගර සභා කොමසාරිස් යන මහත්වරුන් ද සම්බන්ධ වූහ. මීට අමතරව, යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සිට යාපනය මහා නගර සභාවේ ගරු නගරාධිපතිනි මතිවදනී විවේකානන්දරාජා මහත්මිය සහ කොන්සියුලර් ජෙනරාල් ශ්‍රී සායි මුරලි මහතා ද මෙම රැස්වීමට එක්වූහ.

මෙම භාරකාර අරමුදල් පාලක මණ්ඩලය නිල බලයෙන් පත්වන සාමාජිකයින් 3 දෙනෙකු සහ ක්ෂේත්‍ර ප්‍රඥාවන්තයින් 4 දෙනෙකුගෙන් සමන්විතව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුතුව පිහිටුවීමට මීට පෙර තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, මෙම රැස්වීමේදී නිල බලයෙන් පත්වන සාමාජික සංඛ්‍යාව 4 දක්වා ඉහළ නංවන ලදී.

ඒ අනුව, පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා (පළාත් සභාවක් නොමැති අවස්ථාවලදී ගරු ආණ්ඩුකාරවරයා), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, යාපනය මහා නගර සභාවේ ගරු නගරාධිපතිවරයා, යාපනය මහා නගර සභා කොමසාරිස්වරයා යන නිල බලයෙන් පත්වන සාමාජිකයින් 4 දෙනා සහ ක්ෂේත්‍ර ප්‍රඥාවන්තයින් 5 දෙනෙකුගෙන් යුතුව සමස්ත සාමාජිකයින් 9 දෙනෙකු මෙම මණ්ඩලයට පත් කිරීමට නියමිතය. ක්ෂේත්‍ර ප්‍රඥාවන්තයින් 5 දෙනා නමින් නම් කර පත් කිරීමට ද යාපනය මහා නගර සභාව ඇතුළු සියලු පාර්ශ්ව මෙම රැස්වීමේදී එකඟතාව පළ කළහ.

තවද, යාපනය මහා නගර සභාව විසින් පෙන්වා දෙන ලද, පූර්වයෙන් සකස් කර තිබූ භාරකාර අරමුදල් ගිවිසුමේ 12 වැනි වගන්තිය ඉවත් කිරීමට ද සියලු පාර්ශ්ව එකඟතාව පළ කළහ.

මෙම සුහද එකඟතාවයන්ගෙන් අනතුරුව, සංශෝධිත ගිවිසුමට සියලු පාර්ශ්වයන් නිල වශයෙන් අත්සන් තබන දිනය ඉතා ඉක්මනින් තීරණය කිරීමට තීරණය කරන ලදී.