ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්වාන්ජල් පාණ්ඩේ ඇතුළු නියෝජිත පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාව උතුරු පලාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අතර සාකච්ඡාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතාද සහභාගී විය.
මෙහිදී පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම, චෙන්නායි සිට පලාලි දක්වා ගුවන් සේවා වැඩි කිරීම සහ කංකසන්තුරේ සහ තූත්තුකුඩි අතර මගී යාත්‍රා සේවාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම උතුරේ සිදු කළ හැකි විදුලිබල උත්පාදනය සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්වභාවික බලශක්ති සම්පත් යොදා ගැනීම සම්බන්ධයෙන්ද ගරු ආණ්ඩුකාරතුමිය සමඟ සාකච්ඡා කරන ලදී.