යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්යස්ථානය ඉදිරියේදී විධිමත්ව පරිපාලනය කරමින් එහි කටයුතු සැලසුම්සහගතව ඉදිරියට ගෙන යාමේ අරමුණින් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය සහිතව පිහිටුවන ලද භාර අරමුදල් මණ්ඩලයේ පළමු නිල රැස්වීම අද (10.10.2026) සෙනසුරාදා පෙරවරුවේ යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්යස්ථානයේදී පැවැත්විණි.
භාර අරමුදල් මණ්ඩලය පිහිටුවීමට අදාළ ලේඛනයට එහි සාමාජිකයන් පසුගිය සැප්තැම්බර් මස 18 වැනි දින අත්සන් තබා තිබුණි. ඒ අනුව, මණ්ඩලයේ පළමු නිල රැස්වීම අද පැවැත්විණි.
මෙම රැස්වීමට භාර අරමුදල් මණ්ඩලයේ නිල බලයෙන් පත්වන සාමාජිකයන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා, යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපතිනි මතිවතනි විවේකානඳරාසා මහත්මිය සහ යාපනය මහ නගර සභාවේ කොමසාරිස් ටී.සී. අරවින්දරාජ් මහතා සෘජුවම සහභාගී වූහ. අනෙක් නිල බලයෙන් පත්වන සාමාජිකයා වන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා මාර්ගගත ක්රමය ඔස්සේ රැස්වීමට සහභාගී විය.
එසේම, අදාළ ක්ෂේත්ර නියෝජනය කරමින් කලා හා සංස්කෘතික ක්ෂේත්රයෙන් ශාන්තිනි සිවනේසන් මහත්මිය, නීති ක්ෂේත්රයෙන් ගණපතිපිල්ලේ ප්රභාකරන් මහතා, වාණිජ ක්ෂේත්රයෙන් රත්නවේලුපිල්ලේ මයුරනාදන් මහතා සහ අධ්යාපන ක්ෂේත්රයෙන් කෝසලෙයි මදන් මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.
මෙහිදී යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්යස්ථානය ඉදිරියේදී පරිපාලනය කළ යුතු ආකාරය, භාර අරමුදල් මණ්ඩලයේ ලේඛනවලට අනුව ක්රියාත්මක කළ යුතු පියවර ඇතුළු විවිධ කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.
තවද, තිරුවල්ලුවර් සංස්කෘතික මධ්යස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ එහි විශේෂත්වයන් පිළිබඳව මණ්ඩලයේ සාමාජිකයන්ට පැහැදිලි කිරීම් ලබා දුන් අතර, සාමාජිකයෝ සංස්කෘතික මධ්යස්ථානයේ විවිධ අංශ නිරීක්ෂණය කිරීම සඳහා ද එක් වූහ.




