නීත්‍යානුකූලව අවසර ලත් ආයෝජන ව්‍යාපෘති ජනතාවගේ යහපත සඳහා ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුයි – ආණ්ඩුකාර සහ ධීවර අමාත්‍ය අවධාරණය කරයි

උතුරු පළාතේ ආයෝජන ව්‍යාපෘති සඳහා වන පරිපාලන බාධා ඉවත් කර වහාම අනුමැතිය ලබා දෙන්න – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාර නා.වේදනායගම් නිලධාරීන්ට උපදෙස් දෙති

උතුරු පළාතට ආයෝජකයින් පැමිණෙන විට, පරිපාලනමය බාධාවන් හේතුවෙන් ඔවුන් කලකිරීමට පත්ව ආපසු හැරී යන තත්ත්වයක් ඇති නොවිය යුතුය. නීත්‍යානුකූලව අනුමත කළ හැකි ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රමාදයකින් තොරව සුදුසු අනුමැතිය ලබා දී, ඒ හරහා නව රැකියා අවස්ථා සහ ප්‍රදේශයේ සංවර්ධනය උදා කළ යුතුය. ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින සැකයන් සහ විරෝධතාවලට විද්‍යාත්මක පැහැදිලි කිරීම් ලබා දී ජනතාව දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු අමාත්‍ය සහ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ආර්. චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා එක්ව අවධාරණය කළහ.

පොදුනල මත්ස්‍ය වගා සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘සන්ශක්ති ට්‍රේඩර්ස් (පුද්ගලික) සමාගම’ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2026.08.25) අඟහරුවාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ මස පැවැති පූර්ව සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සුභවාදී තීරණයකට පැමිණීමට නොහැකි වූ අතර, එහි තවත් පියවරක් ලෙස අද දින මෙම සාකච්ඡාව පවත්වන ලදී. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජක පාර්ශ්වය, අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය පරිපාලනය යන පාර්ශ්වවල මතවාදයන් මෙහිදී දීර්ඝ ලෙස විමර්ශනය කෙරිණි.

සාකච්ඡාව ආරම්භයේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා සඳහන් කළේ, ආයෝජන පැමිණෙන විට පමණක් ප්‍රදේශ ආර්ථික වශයෙන් ඉදිරියට යන අතර නව රැකියා අවස්ථාද නිර්මාණය වන බවයි. එබැවින් නීත්‍යානුකූල ආයෝජන ව්‍යාපෘති පුද්ගලික න්‍යාය පත්‍ර මත පදනම්ව තහනම් කළ නොහැකි බවත්, නීත්‍යානුකූලව අනුමත කළ හැකි ව්‍යාපෘති සඳහා සුදුසු අනුමැතිය ලබා දීම රාජ්‍ය ආයතනවල වගකීම බවත් ඔවුහු අවධාරණය කළහ.

ඇතැම් පාර්ශ්වවල විරෝධතාව, නොදැනුවත්කම හෝ අන්‍යයන්ගේ පෙළඹවීම් නිසා ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබා දිය හැකි ව්‍යාපෘතියක් අතහැර දැමීම සුදුසු නැති බවද ඔවුහු සඳහන් කළහ. එමෙන්ම, ජනතාව ඉදිරිපත් කරන ගැටලු නොසලකා නොහැර, අදාළ නිලධාරීන් විද්‍යාත්මක තොරතුරු ජනතාවට තේරෙන පරිදි පැහැදිලිව විස්තර කර, ව්‍යාපෘතියේ ප්‍රතිලාභ සහ බලපෑම් පිළිබඳව තොරතුරු ලබා දිය යුතු බවද ප්‍රකාශ කළහ.

දේශගුණික විපර්යාස ඇතුළු විවිධ හේතූන් මත ධීවර සම්පත් අඩුවෙමින් පවතින වාතාවරණයක, මත්ස්‍ය වගා ආශ්‍රිත ආයෝජන ව්‍යාපෘති අනාගතයේදී ධීවරයින්ට සහ ධීවර ප්‍රජාවට විකල්ප ජීවනෝපාය අවස්ථා උදා කර දිය හැකි බව ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා පෙන්වා දුන්හ. එම නිසා මෙම ව්‍යාපෘතියේ ස්වභාවය, අපේක්ෂිත ප්‍රතිලාභ සහ විද්‍යාත්මක පදනම පිළිබඳව මහජනතාවට පුළුල් පැහැදිලි කිරීමක් ලබා දීමේ අවශ්‍යතාවද ඔවුහු අවධාරණය කළහ.

මෙම ව්‍යාපෘතියට අදාළ ඊළඟ පියවර ලෙස, ඉදිරි 28 වැනිදා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරුත්තියඩෙප්පු ප්‍රදේශයේදී මහජනතාව සමඟ නැවත සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව කයිට්ස් ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

එදිනට අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීන් සෘජුවම ගොස්, ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි සහ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ජනතාවට ලබා දෙන ලෙසත්, ව්‍යාපෘතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා එක්ව උපදෙස් දුන්හ.

අද දින පැවැති සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, කයිට්ස් ප්‍රාදේශීය ලේකම්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරු, ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම්, ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිගේ සම්බන්ධීකාරක සහ ‘සන්ශක්ති ට්‍රේඩර්ස් (පුද්ගලික) සමාගමේ’ ආයෝජකයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.