සිසුන්ට සිය අධ්‍යාපන කටයුතුවලට අමතරව කලා හා ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අලුත් අවුරුදු උත්සව අවස්ථාවන් මනා පිටුවහලක් වන බවත්, මෙවැනි අතිරේක ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් සිසුන්ගේ නායකත්ව ගුණාංග ඇතුළු යහපත් ලක්ෂණ වර්ධනය කරගත හැකි බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය.
උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කළ ‘උතුරු පළාත් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය – 2026’, අමාත්‍යාංශ ලේකම් එම්. පැට්‍රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17.04.2026) සිකුරාදා උඩුප්පිඩ්ඩි ඉමයියනන් මධ්‍යම ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරවරයා ඉහත කරුණු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම උත්සවය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව යම් අවිනිශ්චිත තත්ත්වයක් පැවතුණා. මෙය පැවැත්වීමට අවසන් තීරණය ගනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි. මෙතරම් කෙටි කාලයක් තුළ මෙවැනි උත්සවයක් ඉතා ක්‍රමානුකූලව සහ සාර්ථකව සංවිධානය කිරීමට වෙහෙස වූ සැමට මගේ ප්‍රශංසාව සහ සුබපැතුම් පිරිනමනවා.
මෙම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ජාතීන් දෙකටම පොදු වූවක්. එය දෙමළ සහ සිංහල ජනතාව එක්ව සමරන ප්‍රධාන උත්සවයයි. මෙවැනි සැමරුම් හරහා එකිනෙකාගේ සංස්කෘතීන් සහ සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, ජාතීන් අතර සහජීවනය වර්ධනය කර ගැනීමටත් විශාල පිටුවහලක් ලැබෙනවා. අද දින කලා කටයුතුවල නිරත වූ සිසුන් ඔවුන්ගේ දක්ෂතාවලින් අපව මවිතයට පත් කළා.
සැබවින්ම මෙම සැමරුම හුදු උත්සවයක් පමණක් නොව, අපගේ සාම්ප්‍රදායික සංස්කෘතික සිරිත් විරිත්, ක්‍රීඩා සහ ආහාර පාන වර්ග අපේ ඇස් පනාපිට යළිත් ජීවමාන කරවීමක්,” යැයි පැවසීය.
මීට පෙර, උත්සව භූමියට පැමිණි අමුත්තන් සම්ප්‍රදායානුකූලව ගෞරව පූර්වකව පිළිගනු ලැබීය. අනතුරුව ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ දෙමළ සහ සිංහල සාම්ප්‍රදායික කුටි නිරීක්ෂණය කිරීමට ගරු ආණ්ඩුකාරවරයා ඇතුළු අමුත්තන් පියවර ගත්හ. සිසුන්ගේ විචිත්‍රවත් කලා අංග රැසක් එහිදී ඉදිරිපත් වූ අතර, දේශීය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන කුටි නැරඹීමටද අමුත්තන්ට අවස්ථාව ලැබිණි.
අනතුරුව වේදිකා වැඩසටහන ලෙස පිළිගැනීමේ නර්තනය, පේඩිකූත්තු (හාස්‍ය නර්තන), උඩරට නැටුම්, කන්නන් නර්තනය, සාම්ප්‍රදායික සිංහල නර්තනය, නිර්මාණාත්මක නර්තන, සර්ප නර්තනය සහ තිල්ලානා නර්තනය ඇතුළු අංග රැසක් ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වන ලිස්සන ගස නැගීම, කොට්ට පොර ඇතුළු ග්‍රාමීය ක්‍රීඩා රැසක් ක්‍රීඩාංගණය පුරා උද්යෝගිමත් ලෙස පැවැත්විණි.
මෙම අවස්ථාවට වන්නි මැතිවරණ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ සමුපකාර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ, කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. රජීවන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධනුජා මුරුගේසන් මහත්මිය, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්, කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ, ක්‍රීඩා අධ්‍යක්ෂ, කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති, සභා ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සිසුන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.









