පෞද්ගලික අධ්‍යාපන ආයතන කරා නොගොස්, ප්‍රමාණවත් ගුරු සම්පත් නොමැති උතුරු, නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල පාසල්වල උසස් පෙළ විද්‍යා අංශයෙන් (ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය) හදාරන වරප්‍රසාද ලත් දෙමළ සිසුන් හට, යාපනය හින්දු විද්‍යාලයේ විද්‍යාගාර පහසුකම් භාවිතා කරමින් දින තුනක් නේවාසිකව ඉගෙන ගැනීමට දුර්ලභ අවස්ථාවක් උදාකර දුන් විදුහල්පති ඉ. සෙන්තිල්මාරන් මහතා ඇතුළු පාසල් ප්‍රජාවට සහ ඒ සඳහා අනුග්‍රහය දැක්වූ සංගාරවේල් අරමුදලට (Sangaravel Foundation) සිය හෘදයාංගම ස්තූතිය පිරිනමන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර 4 ක කාලය පුරා යාපනය හින්දු විද්‍යාලය සමඟ එක්ව සංගාරවේල් අරමුදල මගින්, පෞද්ගලික පන්ති සඳහා සහභාගී නොවන දෙමළ මාධ්‍ය උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් වෙනුවෙන් අඛණ්ඩව මාර්ගගත (Online) පන්ති පවත්වාගෙන යනු ලබයි. පහසුකම් අවම සහ ගුරු හිඟ පවතින පාසල්වල ගණිත හා විද්‍යා අංශයෙන් හැදෑරීමට උනන්දුවක් දක්වන සිසුන්ගේ අඩුපාඩු මගහරවා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එහි එක් පියවරක් ලෙස ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් සඳහා සෘජු විද්‍යාගාර පරීක්ෂණ සිදුකිරීමට යාපනය හින්දු විද්‍යාලය සිය සම්පත් මෙම සිසුන් වෙනුවෙන් ලබා දී ඇත.
මෙවර පවත්වන ලද දින තුනක විශේෂ විද්‍යාගාර කඳවුර සඳහා රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිසුන් 155 දෙනෙකු සහභාගී වී සිටියහ. ඔවුන් සමඟ දෙමාපියන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පුහුණු වැඩසටහන් හින්දු විද්‍යාලයේ ගුරුවරුන් සමඟ එක්ව, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් එම විද්‍යාලයේම ආදි සිසුන් විසින් මෙහෙයවීම මෙහි විශේෂත්වයකි.
සිසුන්ගේ ප්‍රවාහන හා ආහාර ඇතුළු සියලු වියදම් සංගාරවේල් අරමුදල විසින් දරා ඇත.
යාපනය හින්දු විද්‍යාලයේ මෙම විද්‍යාගාර කටයුතු සිදු කෙරෙන අතරතුර, විදුහල්පති ඉ. සෙන්තිල්මාරන් මහතාගේ ආරාධනයකට අනුව ඊයේ (2026.04.18) සෙනසුරාදා රාත්‍රියේ එහි ගිය ගරු ආණ්ඩුකාරතුමා, පරීක්ෂණ කටයුතුවල නිරතව සිටි සිසුන් සමඟ සුහද කතාබහක නිරත විය.
අනතුරුව පැවැති විශේෂ හමුවකදී සංගාරවේල් අරමුදලේ නිර්මාතෘ එස්. සුකුමාර් මහතා අරමුදලේ ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ විදුහල්පති ඉ. සෙන්තිල්මාරන් මහතා, මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ ආකාරය, පාසල් සම්පත් අනෙකුත් සිසුන් සමඟ බෙදාහදා ගැනීමේ උතුම් චේතනාව සහ ඒ සඳහා සහය දුන් සැමට ස්තූතිය පළ කළේය. තවද, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අනුග්‍රහය ඇතිව සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වන මාර්ගගත අධ්‍යාපන කටයුතු සහ උසස් පෙළ ගණිත, විද්‍යා අංශයේ සිසුන් සඳහා වන පන්ති ඉදිරියේදී ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා “බොහෝ විදුහල්පතිවරුන් තම පාසලේ භෞතික සම්පත් බාහිර පුද්ගලයන් භාවිතා කරනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දෙමළ ප්‍රජාවේ සමස්ත අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිතුමා තම පාසල් සම්පත් අනෙකුත් සිසුන්ට ද ප්‍රයෝජනයට ගත හැකි පරිදි කටයුතු කිරීම බෙහෙවින් ඇගයිය යුතුයි.
මා නිතරම පවසන පරිදි, දුෂ්කර ගම්මානයකින් එක් සිසුවෙකු හෝ විශ්වවිද්‍යාලයට තේරී පත් වුවහොත්, එය එම මුළු ගම්මානයේම සංවර්ධනයට මග පාදනු ඇත. එම සිසුවා දෙස බලා අනෙකුත් දරුවන් ද ඉදිරියට ඒමට පෙළඹෙනු ඇත. අද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉගෙන ගන්නා ඔබ සැම, හෙට දින ඉහළ තලයකට පත් වූ පසු ඔබ වැනිම අඩු වරප්‍රසාද ලත් සිසුන්ට උගන්වන්නටත්, ඔවුන්ව දිරිමත් කරන්නටත් ඉදිරිපත් විය යුතුයි.
ගුරු හිඟය නිසා ගණිත හා විද්‍යා විෂයන් හැදෑරීමට නොහැකිව වෙනත් අංශ කරා යොමු වන සිසුන් සහ පෞද්ගලික පන්ති යාමට වත්කමක් නොමැති සිසුන් හඳුනාගෙන ඔවුන්ට මෙම නොමිලේ අධ්‍යාපන අවස්ථාව ලබා දීම උදාර මෙහෙවරකි. අද සමාජයේ පෞද්ගලික පන්ති ගියහොත් පමණක් විභාග සමත් විය හැකිය යන මතයක් නිර්මාණය වී ඇත. අප ඉගෙන ගන්නා කාලයේ පෞද්ගලික පන්ති ගියේ නැත. එම මිථ්‍යාව බිඳ දමා ඔබ වැනි සිසුන් විශ්වවිද්‍යාලයට යා යුතුයි.
එමෙන්ම ක්‍රීඩා සහ කලා අංශවල නිරත වුවහොත් අධ්‍යාපනයෙන් ජයගත නොහැකි බවට වැරදි මතයක් සමාජයේ පවතී. නමුත් ජාතික මට්ටමේ ක්‍රීඩාවලින් දස්කම් පෑ සිසුන් අධ්‍යාපනයෙන් ද විශිෂ්ට දස්කම් පෑ ආකාරය විදුහල්පතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. අනෙකුත් අංශවලින් දස්කම් දක්වන්නන්ට අධ්‍යාපනයෙන් ද අනිවාර්යයෙන්ම ජයගත හැකියි.
නොහැකි දෙයක් නැත. උත්සාහ කළහොත් ඕනෑම දෙයක් ජයගත හැකියි. සිසුන් වශයෙන් ඔබ මෙය මතක තබා ගන්න.
ඔබට උපකාර කිරීමට කිසිවෙකු නැතැයි කිසිවිටකත් පසුබට නොවන්න. සංගාරවේල් අරමුදල වැනි යහපත් මිනිසුන් සිටිනවා. මෙම උපකාර ලබාගෙන උසස් තත්ත්වයට පත්වන ඔබ, හෙට දින සමාජයට පෙරළා සේවය කිරීමේ මානසිකත්වය වර්ධනය කරගත යුතුයි,” යැයි අවධාරණය කළේය.
මෙම අවස්ථාව අවසානයේ සංගාරවේල් අරමුදල මගින් පවත්වන ලද ඇගයීම් පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසු සිසුවියන් සඳහා ගරු ආණ්ඩුකාරතුමා විසින් සම්මාන ප්‍රදානය කරන ලදී.








