කනකාම්බිකෙයි කුලම් සිට කිලිනොච්චි කුලම් දක්වා වන ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ නිරීක්ෂණයට

දශක කිහිපයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වැසි කාලවලදී ජනතාව දැඩි ගංවතුර ආපදාවන්ට ලක්වීමට බලපෑ ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

එහි එක් අදියරක් ලෙස, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කනකාම්බිකෙයි කුලම් සිට කිලිනොච්චි කුලම් දක්වා වූ කිලෝමීටර් 1.5ක් දිගැති ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා අද (2026.04.21) අඟහරුවාදා රත්නපුරම් ප්‍රදේශයේදී පෞද්ගලිකව නිරීක්ෂණය කළහ.
උතුරු පළාත් සභාවේ ප්‍රතිසංස්කරණ අරමුදලින් රුපියල් මිලියන 5ක ප්‍රතිපාදන යටතේ මෙම කටයුතු සිදු කෙරේ. එම මූල්‍ය ප්‍රතිපාදනවලට අනුකූලව අදාළ ඇළ මාර්ගය දළ වශයෙන් මීටර් 10ක් පළල් කර ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.

මෙම කටයුතු නිරීක්ෂණය කළ ගරු ආණ්ඩුකාරතුමා, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ප්‍රායෝගික ගැටලු පිළිබඳව වාරිමාර්ග ඉංජිනේරුවරයාගෙන් විමසා සිටියේය.

එහිදී, ඇළ මාර්ගයට අයත් රක්ෂිත ප්‍රදේශය තුළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින පිරිසක් මෙම කටයුතුවලට බාධා පමුණුවන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව පොලිස් සහාය ඇතිව අදාළ අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කර, කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරතුමා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.