ආසියානු සංවර්ධන බැංකුවේ උතුරු පළාත් ව්‍යාපෘති නිරීක්ෂණයට පැමිණි මාධ්‍ය කණ්ඩායම ආණ්ඩුකාරවරයා හමුවෙයි

​උතුරු පළාතේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහයෝගයෙන් ක්‍රියාත්මක වන ජල සම්පාදන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිවල ප්‍රතිඵල, ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ සහ අනාගත ප්‍රගතිය පිළිබඳව සිදු කෙරෙන මාධ්‍ය චාරිකාවක කොටසක් ලෙස උතුරු පළාතට ආසියානු සංවර්ධන බැංකුව මගින් කැඳවාගෙන එන ලද මාධ්‍ය කණ්ඩායම, පළාතේ සංවර්ධන තත්ත්වයන් පිළිබඳව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

​ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් උතුරු පළාතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (ඉරිදා) සිට ඉදිරි 26 වැනිදා දක්වා සිදුකෙරෙන මාධ්‍ය චාරිකාවේ කොටසක් ලෙස, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කණ්ඩායමේ නිලධාරීන් සහ දේශීය මුද්‍රිත මාධ්‍යවේදීන් අද (24.08.2026) සඳුදා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී හමුවිය.

​ශ්‍රී ලංකාවේ ජල සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වය සහ විශේෂයෙන්ම දිළිඳුකම පිටුදැකීම, ප්‍රාදේශීය විෂමතාව අවම කිරීම මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මෙම ව්‍යාපෘති මගින් ඇති කර ඇති බලපෑම මහජනතාව වෙත ගෙන යාම මෙම චාරිකාවේ අරමුණයි.

​තාලයඩි හි ස්ථාපිත කර ඇති කරදිය මිරිදිය කිරීමේ ව්‍යාපෘතිය, දූපත් ප්‍රදේශවල ක්‍රියාත්මක වන සබඳිත ජල ව්‍යාපෘති සහ යාපනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති නිරීක්ෂණය වන පරිදි මාධ්‍ය කණ්ඩායමේ චාරිකාව සංවිධානය කර ඇත. මේ ඔස්සේ ව්‍යාපෘතිවල ප්‍රායෝගික ප්‍රතිඵල සහ ප්‍රතිලාභීන්ගේ අත්දැකීම් සෘජුවම වාර්තා කිරීමට අවස්ථාව සැලසී තිබේ.

​ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති හරහා උතුරු පළාතේ ගොඩනඟා ඇති යටිතල පහසුකම්, ඒවායේ වත්මන් තත්ත්වය සහ අනාගත අවශ්‍යතා පිළිබඳව ආණ්ඩුකාරවරයා සහ මාධ්‍ය කණ්ඩායම අදහස් හුවමාරු කර ගත්හ. පළාතේ ජල සම්පත, පානීය ජල ආරක්ෂණය, කෘෂිකර්මාන්තය, ව්‍යවසායකත්වය සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය යන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩව ආයෝජන අවශ්‍ය වන බවටද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

​මෙම හමුවට ආණ්ඩුකාර ලේකම්වරයා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්, ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී, ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරී, මුදල් අංශ නිලධාරී සහ ව්‍යාපෘති සහකාර ඇතුළත් කණ්ඩායම මෙන්ම දේශීය මුද්‍රිත මාධ්‍යවේදීහු ද සහභාගී වූහ.