අත්දැකීම් සහ දැනුම එක්වූ විට පමණයි විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය වන්නේ – ආණ්ඩුකාර නා. වේදනායගන්

විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර, යථාර්ථය ගැඹුරින් තේරුම් ගැනීමට අත්දැකීම් ද අත්‍යවශ්‍ය වේ. අත්දැකීම් සහ දැනුම එකිනෙක එක් වූ විට පමණක් ග්‍රන්ථයක් සමාජයට යහපතක් වන අන්දමින් විශිෂ්ටත්වයට පත්වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය.

‘ළමා කාලයේ අධ්‍යාපනය සහ ප්‍රාථමික අධ්‍යාපනයේ ක්‍රියාකාරකම්’ සහ ‘විදේශගත රටවල ශ්‍රී ලාංකේය දෙමළ යන ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ උත්සවය අද (2026.08.26) බදාදා යාපනය හින්දු විද්‍යාලයේ සපාලිංගම් ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, පෙරපාසල් අධ්‍යාපනයේ වැදගත්කම ශ්‍රී ලංකාව තුළ බහුලව වටහාගැනීමට පටන්ගෙන ඇත්තේ මෑතකදී බව සඳහන් කළේය. මුල් ළමාවිය අධ්‍යාපනය යනු දරුවෙකුගේ දැනුම, හැසිරීම සහ අනාගත අධ්‍යාපනය සඳහා වූ පදනම සකස් කරන අවස්ථාව වන බැවින්, වත්මන් රජයද පෙරපාසල් අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් එය විධිමත් කිරීම සඳහා වූ පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කළේය.
‘විදේශගත රටවල ශ්‍රී ලාංකේය දෙමළ ‘ යන ග්‍රන්ථයේ අන්තර්ගතයට අදාළව අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ, විදේශගත ද්‍රවිඩ ජනතාව තම පවුල් පිටින් මවුබිමට පැමිණෙන අවස්ථාවලදී, ඔවුන්ගේ දරුවන් ද්‍රවිඩ භාෂාව කතා නොකරන තත්ත්වයක් දක්නට ලැබීම කනගාටුවට කරුණක් බවයි. මව්භාෂාව සුරැකීම යනු සමාජයක අනන්‍යතාවය සහ සංස්කෘතික පැවැත්ම ආරක්ෂා කිරීම හා සෘජුවම බැඳී පවතින බවද ඔහු අවධාරණය කළේය.

අනෙකුත් ජනසමාජයන් තමන් අතර සංවාදයේ යෙදෙන විට තම මව්භාෂාව භාවිතා කරනු සාමාන්‍යයෙන් දැකිය හැකි වුවද, දෙමළ සමාජය තුළ එම පුරුද්ද බොහෝ ස්ථානවල අඩුවෙමින් පැවතීම පිළිබඳව සිතා බැලිය යුතු බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. විදේශයන්හි ඇති ඇතැම් සංවිධාන විදේශගත දෙමළ දරුවන්ට දෙමළ භාෂාව උගන්වනු පිණිස ගන්නා උත්සාහයන් ඇගයීමට ලක් කළ ඔහු, එවැනි ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම වෙනුවට ඒවාට වැරදි කීමත්, බාධා කිරීමත් දෙමළ සමාජය තුළ සිදුවීම කනගාටුදායක බවද ප්‍රකාශ කළේය.
මේ අතර, උත්සවයේදී අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය බාලගෝපි මහතා ඉදිරිපත් කළ ප්‍රායෝගික ගැටලු කෙරෙහිද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය. එම කරුණුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවත්, නමුත් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගී ඇති ඇතැම් සෘණාත්මක චින්තනයන් අභිබවා වෙනස්කම් ඇති කිරීමට කාලය සහ ඉවසීම අවශ්‍ය වන බවත් ඔහු සඳහන් කළේය.

‘යමක් කරන්න යැයි කීවොත් නොකර සිටීමත්, කරන්න එපා යැයි කීවොත් කිරීමත් වැනි සෘණාත්මක චින්තන පුරුදුවලින් අපගේ සමාජය හෙමින් හෙමින් මුදාගෙන, ධනාත්මක ක්‍රියාකාරී ආකල්පයක් ගොඩනැගිය යුතුයි’ යනුවෙන් ආණ්ඩුකාරවරයා පැවසීය. සමාජයේ ප්‍රගතියට අවශ්‍ය වෙනස්කම් ප්‍රායෝගිකව ඇති කිරීමට නම් ආකල්පමය වෙනසක් ද අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කළේය.
මෙම ග්‍රන්ථවල කර්තෘ තණිකාචලම්පිල්ලෙයි මහතා මෑතකදී නීතිවේදී (LL.B) උපාධිය සම්පූර්ණ කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, අධ්‍යාපනය ලැබීමට වයස කිසිවිටෙකත් බාධාවක් නොවන බවට ඔහු හොඳම ජීවමාන ආදර්ශයක් බව පවසමින් ඇගයීමට ලක් කළේය. නොකඩවා ඉගෙන ගැනීමට ඇති උනන්දුව සහ උත්සාහය ඕනෑම වයසකදී පුද්ගලයෙකු අලුත් දැනුමේ ඉහළටම රැගෙන යා හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම උත්සවයේදී වෛද්‍ය විශේෂඥයින් ඇගයීමට ලක්කිරීමද සිදුවිය. යාපනය දිස්ත්‍රික් ලේකම්, උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්, අධ්‍යාපනඥයින්, වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස්, ලේඛකයින් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ග්‍රන්ථ එළිදැක්වීම සහ හඳුන්වාදීමේ දේශන මෙන්ම ග්‍රන්ථවල අන්තර්ගතය පිළිබඳ විචාරාත්මක අදහස් දැක්වීම් ද මෙහිදී සිදුවිය.