කීරිමලෙයි නගුලේෂ්වරම් දේවාල පරිශ්‍රයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

උතුරු පළාත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය අඛණ්ඩව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් මේ වන විට සලකා බලමින් පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය. මේ වෙනුවෙන් උතුරු පළාත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන බවද ඔහු සඳහන් කළේය.

ඓතිහාසික කීරිමලෙයි නගුලේෂ්වරම් දේවාල පරිශ්‍රයේ ඉන්දීය රජයේ විශේෂ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (2026.06.02) අඟහරුවාදා පෙරවරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී. ඉන් අනතුරුව විශේෂ උත්සවයක් සහ ගරු ආණ්ඩුකාරවරයාගේ දේශනයක් පැවැත්විණි. මෙම වැඩසටහන්වලින් පසු අමුත්තන් දේවාලයේ වත්පිළිවෙත්වලට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා “ඓතිහාසික පර්යේෂකයන් සහ සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන සුප්‍රසිද්ධ ‘පංච ඊෂ්වරම්’ දේවාලවලින් එකක් වන ඓතිහාසික නගුලේෂ්වරම් දේවාලය මෙහි පිහිටා ඇත. ඉන්දියාවේ සිට පැමිණි මරුතපුරවල්ලි කුමරිය මෙහි ඇති පූජනීය තීර්ථයෙන් (කීරිමලෙයි දිය උල්පතෙන්) ස්නානය කර ඇගේ රෝගාබාධ සුව කරගෙන, මාදගල් මාවිට්ටපුරම් දේවාලය ඉදිකර වන්දනාමාන කළ බව ඉතිහාස වාර්තාවල සඳහන් වේ. මෙවැනි දීර්ඝ ඉතිහාසයක් සහ ප්‍රසිද්ධ පූජනීය තීර්ථයක් සහිත මෙම දේවාලයට, පසුගිය 2015 වසරේ භාරත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යාපනයට පැමිණි අවස්ථාවේදී පැමිණියේය.

උතුරු පළාත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දීය රජය අඛණ්ඩව සිය සහයෝගය ලබා දෙයි. උතුරු පළාතේ අතිශය අසරණ වූ ජන කොටස් වෙත ලබාදුන් ඉන්දීය නිවාස ව්‍යාපෘතිය අපි සැමවිටම කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරමු. ඒ තුළින් අද වන විට පවුල් රැසක් ශක්තිමත් නිවාසවල ආරක්ෂිතව ජීවත් වෙති. මම ඒ කාල වකවානුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ නිසා මෙය පියවි ඇසින් දැක හොඳින් දනිමි. ඉන්දීය රජයේ මෙම උදාර දායකත්වය උතුරු පළාත් ජනතාව කිසිදා අමතක නොකරනු ඇත.

මීට අමතරව දුම්රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සහ මෑතකදී සිදු කරන ලද මන්නාරම රෝහල් සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති රැසක් ඉන්දියාවේ දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇත. තවත් රෝහල් ව්‍යාපෘති කිහිපයක් මේ වන විට සලකා බලමින් පවතී.

මුහුදු රළට ඉතා ආසන්නව පිහිටි ඓතිහාසික නගුලේෂ්වරම් දේවාලයේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ දක්වන සහයෝගය සහ කැපවීම බෙහෙවින් අගය කළ යුතුය. මෙම ඓතිහාසික භූමියේ සංවර්ධනය වෙනුවෙන් උපකාර කරන ඉන්දියාවට, උතුරු පළාත් ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට සහ යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් සායි මුරලි මහතාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිමි.”

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව උතුරු පළාත් ජනතාව සමඟ පවත්වන ඓතිහාසික සබඳතාව පිළිබඳව අදහස් දැක්වූ අතර, මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ඉතා සතුටින් ඉටු කරන බව ද සඳහන් කළේය. මන්නාරම රෝහලේ දැඩි සත්කාර ඒකකය සංවර්ධනය කිරීම, මුලතිව් දිස්ත්‍රික් රෝහල සංවර්ධනය කිරීම සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම ඇතුළු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සිය කතාවේදී සිහිපත් කළේය.

මෙම අවස්ථාවට යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් සායි මුරලි මහතා, තානාපති නිලධාරීන්, දේවාල පාලක සභාව, සිසුන් සහ මහජනතාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.