උතුරු පළාතේ වෙසක් සැමරුම් තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සැලසුම්සහගතව පතුරුවා හරින ලද පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වවුනියාවේ පැවැති මෙම වෙසක් උත්සවයෙන් පැහැදිලිවම ඔප්පු වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. “අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් වචනවලින් අපව බෙදා වෙන් කිරීමට උත්සාහ කරන විට, අප ක්‍රියාවෙන් එකතු වෙමු; අපගේ පිළිතුර එයයි” යැයිද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කරන ලද ‘උතුරු පළාත් වෙසක් උත්සවය’ අද (2026.06.02) අඟහරුවාදා සන්ද්‍යාවේ වවුනියාව පරකුම් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට උතුරු – නැගෙනහිර ප්‍රධාන සංඝනායක සහ මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය ආනන්ද හිමි, උතුරු – නැගෙනහිර උප සංඝනායක අටමස්ථාන කල්යාණ තිස්ස හිමි, ගරු නියෝජ්‍ය අමාත්‍ය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. පැට්‍රික් ඩිරන්ජන් මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම්, වවුනියාව දිස්ත්‍රික් අතිරේක ලේකම් සහ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මොවුන් සමඟ වන්නි කලාපය භාර නියෝජ්‍ය පොලිස්පති, 56 වන සේනාංකාධිපති, වවුනියාව දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්, වවුනියාව දකුණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිවරයා ද එක්ව සිටියහ.
ඉතා භක්තිමත් අයුරින් සංවිධානය කර තිබූ මෙම වෙසක් උත්සවයේදී ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර, ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කිලෝමීටරයක් පමණ දුරට විහිදුණු අතිවිශාල වෙසක් පෙරහැරක් ද පැවැත්විණි. අනතුරුව වෙසක් කූඩු ප්‍රදර්ශනය විවෘත කරන ලදී. අවසාන වශයෙන් දන්සල් පැවැත්වීම සහ වේදිකා වැඩසටහන් සහිත භක්ති ගීත ගායනා ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී පැවැත්විණි. මෙම අවස්ථාවට 5,000 කට ආසන්න මහජනතාවක් සහභාගී වී සිටීම සුවිශේෂී කරුණකි.
මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සිය කතාවේදී මෙසේද සඳහන් කළේය: “වෙසක් දිනය යනු සමස්ත ලෝක බෞද්ධ ජනතාවටම ඉතා පූජනීය දිනයකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන තෙමඟුලම සිදුවූයේ මෙම පුන් පොහෝ දිනකය. මෙහි දල්වනු ලබන සෑම වෙසක් කූඩුවක්ම, මැටි පහනක්ම හුදෙක් සැරසිල්ලක් පමණක් නොවේ; ඒවා මෙලොවට සාමයේ සහ ප්‍රේමයේ ආලෝකය පතුරුවන සංකේතයන්ය.
උතුරු පළාත යනු බෞද්ධ, හින්දු, කිතුනු සහ මුස්ලිම් යන විවිධ ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව අසල්වැසියන් ලෙස, සහෝදරයන් ලෙස ජීවත්වන භූමියකි. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා බැහැර කරමින්, අප සියලු දෙනාම සහෝදරත්වයෙන් එකට බැඳී සිටින බව මෙම උත්සවය ලොවටම කියා පායි.
බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මය හුදෙක් පන්සල් තාප්පවල ලියා තැබිය යුතු වැකි නොවේ; ඒවා අපගේ දෛනික ජීවිතයට මඟ පෙන්වීම්ය. ධම්මපදයේ බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ’ යන දේශනාව, දිගු කලක් යුද කැළැල් දරා සිටි මෙම පසට බෙහෙවින්ම ගැළපේ. පලියෙන් පලිය පියවිය නොහැක. ආදරය, සමාව සහ සාමය පමණක්ම එම දාමය කඩා බිඳ දමනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ ‘සම්මා වාචා’ (නිවැරදි වචන භාවිතය) පිළිබඳ දේශනාව මෙම නවීන ඩිජිටල් යුගයට අතිශයින්ම අත්‍යවශ්‍ය වේ. වචනයක් කතා කිරීමට හෝ සමාජ මාධ්‍යයක බෙදා හැරීමට පෙර එය සත්‍යයක්ද, එයින් යමෙකුට හානියක් සිදුවේද යන්න සොයා බැලීම සැමගේම වගකීමකි. එමෙන්ම, ක්‍රෝධය සහ වෛරය මුලින්ම පුලුස්සා දමන්නේ අපවමය. වචනයෙන්, ක්‍රියාවෙන් හෝ සිතුවිල්ලෙන් අන් අයට රිදවීමක් නොකර ජීවත්වන ‘අහිංසාවාදී’ සමාජයක ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත.
බුදුන් වහන්සේ කරුණාව දේශනා කළහ. හින්දු ආගම ‘අන්බේ සිවම්’ (ආදරයම දෙවියන්ය) යනුවෙන් පවසයි, ක්‍රිස්තියානි ධර්මය ‘තම අසල්වැසියාට තමාට මෙන් ප්‍රේම කරන්න’ යැයි කියයි, ඉස්ලාම් දහම දයාව සහ කරුණාව අගය කරයි. වත්පිළිවෙත් සහ භාෂාවන් වෙනස් විය හැකිය; නමුත් සෑම ආගමක්ම අවසානයේ දේශනා කරන්නේ ආදරය පමණි. ඒ ආදරයේ ආලෝකයෙන් උතුරු පළාත සදාකල් එක්සත්ව, සාමකාමීව සහ සමෘද්ධිමත්ව වර්ධනය විය යුතුය.”
මේ අතර, මෙම උත්සවයේදී අදහස් දැක්වූ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා, වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මෙවැනි අතිවිශාල වෙසක් උත්සවයක් සංවිධානය කර තිබීම පිළිබඳව සිය සතුට පළ කළේය.






