යාපනය දිස්ත්‍රික්කයේ වෙසක් උත්සව සැමරුම් ගරු ආණ්ඩුකාරතුමා විසින් නිල වශයෙන් ආරම්භ කරනු ලබයි.

යාපනය දිස්ත්‍රික්කයේ පොලිසිය සහ යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ විශේෂ වෙසක් උත්සව සැමරුම් කටයුතු උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් අද (30.05.2026) සෙනසුරාදා සන්ධ්‍යාවේ නිල වශයෙන් ආරම්භ කරන ලදී.

යාපනය ප්‍රධාන පොලිස් ස්ථානයේ සංවිධානය කර තිබූ වෙසක් කලාපයේ විදුලි ආලෝකකරණයන් විවෘත කරමින් උත්සවය ආරම්භ කළ ආණ්ඩුකාරතුමා, එක් එක් පොලිස් ස්ථාන විසින් විශේෂයෙන් නිර්මාණය කර තිබූ වෙසක් කූඩු සහ සැරසිලි නැරඹීමටද එක්විය. ඉන් අනතුරුව එහි සංවිධානය කර තිබූ ‘දන්සල’ මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමටද ආණ්ඩුකාරතුමා කටයුතු කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු නාවික විධානය භාර ආඥාපති, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

මීට සමගාමීව, යාපනය නාග විහාරය අවට යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ වෙසක් කලාපයේ විදුලි ආලෝකකරණය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා සහ යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි මහතා විසින් ඒකාබද්ධව නිල වශයෙන් විවෘත කරන ලදී. ඉන් අනතුරුව එහි සංවිධානය කර තිබූ දන්සලද අමුත්තන් විසින් ආරම්භ කරන ලදී.

නාග විහාරයේ පැවැති මෙම විශේෂ උත්සව සඳහා නාග විහාරාධිපති වහන්සේ ඇතුළු පූජනීය ආගමික නායකයන්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු නාවික විධානය භාර ආඥාපති, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සහ යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති යන මහත්වරුන් එක්ව සිටියහ.

තවද, මෙම උත්සවයේදී වෙසක් සැරසිලි තරඟාවලියේ විශිෂ්ඨතම නිර්මාණ සඳහා පළමු ස්ථාන තුන දිනාගත් යුද හමුදා බලඇණි වෙත ආණ්ඩුකාරතුමා ඇතුළු ආරාධිතයන් විසින් තෑගි පිරිනමා ඇගයීමට ලක් කිරීමද සුවිශේෂී වේ.