උතුරු පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා වැදගත් වන බවත්, එම ක්ෂේත්‍රය නංවාලීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබාදෙන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද බදාදා (11.03.2026) පෙරවරුවේ යාපනය වලම්පුරි හෝටලයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය:
“සංචාරක අමාත්‍යාංශය හරහා අපට දැනට හිතකර වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා. එළඹෙන 23 වැනිදා මෙහි පැමිණීමට නියමිත සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, 2027 සහ 2028 වසර සඳහා වන සංචාරක ප්‍රවර්ධන සැලසුම් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය අපට ලැබුණු කදිම අවස්ථාවක්. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයේ දෙපාර්තමේන්තු ඉටුකළ යුතු කාර්යභාරය සහ පෞද්ගලික අංශය වන ඔබට අවශ්‍ය පහසුකම් සලසා දීමේ අවශ්‍යතාවය අප සම්පූර්ණයෙන්ම වටහාගෙන තිබෙනවා.”
ප්‍රවාහන යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත් කල, පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා දැනට පවතින පහසුකම් අවම මට්ටමක පවතී. එහි ධාවන පථය පුළුල් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. එමෙන්ම කාන්කසන්තුරේ වරාය ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.
අපේ සංචාරක ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යාපනය සහ කොළඹ අතර පවතින අධික ගමන් කාලයයි. ගොඩබිම් ප්‍රවාහනය සඳහා පැය 8 සිට 9 දක්වා කාලයක් ගතවේ. මෑතකදී මෙහි පැමිණි සිවිල් ගුවන් සේවා සහ වරාය අමාත්‍යවරයා මෙම අභියෝගයට විසඳුමක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දේශීය ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අනාගතයේදී වෙනම පර්යන්තයක් ඉදිකරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එක් එක් ප්‍රදේශවල සංචාරක කර්මාන්තය නංවාලිය හැකි නව ව්‍යාපෘති ඔබ හඳුනාගෙන ඉදිරිපත් කරන්නේ නම්, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපට පහසු වනු ඇත. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ලබාගැනීමේ ප්‍රායෝගික ගැටලු පවතින බව දැනගන්නට ලැබී තිබේ.
කෙසේ වෙතත්, එම ගැටලු අප ඉතා ඉක්මනින් විසඳා දීමට කටයුතු කරන්නෙමු. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෝජනාද අපට ලබාදිය යුතුයි. තවද, දැනට ඉන්දියාවේ සිට විශාල සංඛ්‍යාවක් සංචාරකයින් යාපනයට පැමිණෙමින් සිටිති. එය සැලකිල්ලට ගනිමින් ‘රාමායණ වන්දනා චාරිකා’ (Ramayana Trail) හා සම්බන්ධ වැඩසටහන් කිහිපයක්ද අප දැනට ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඇතුළුව සැමගේ පූර්ණ සහයෝගය අවශ්‍යයි. ඔබේ ගැටලු ඕනෑම අවස්ථාවක අපට දන්වන්න පුළුවන්. දැනට පවතින අඩුපාඩු අප එක්ව ක්‍රමයෙන් විසඳාගෙන ඉදිරියට යමු යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම විශේෂ අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. සිවකරන්, යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ හා කොන්සියුලර් පරිපාලන නිලධාරී රම්‍යා චන්ද්‍රසේකරන්, උතුරු පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ආචාර්ය ජේ. විවේකානන්දන්, පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන්, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, හෝටල් හිමිකරුවන් සහ කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



