සුදුමලෙයි ප්‍රදේශයේ ගංවතුර බලපෑම අවම කිරීම සඳහා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සහ වැව් පිරිසිදු කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම

සුදුමලෙයි ප්‍රදේශයේ පවතින ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණින් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වලිගාමම් දකුණ බටහිර ප්‍රාදේශීය සභාව එක්ව ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එමෙන්ම, අදාළ ප්‍රදේශයේ ජලය රැස් කර තබා ගැනීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා සුදුසු වැව් ද කඩිනමින් පිරිසිදු කිරීමට තීරණය කර ඇත.

සුදුමලෙයි ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය සහ ඇළ මාර්ගවල පවතින අවහිරතා සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී 08.09.2026 අඟහරුවාදා පැවැති සාකච්ඡාවේදී මෙම තීරණ ගනු ලැබිණි.

ගංවතුර ජලය ස්වභාවිකව ගලා ගොස් රැඳී සිටිය හැකි වන පරිදි ජල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටත්, වැසි කාලවලදී විශාල වශයෙන් රැස්වන ජලය ගබඩා කර ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එම ප්‍රදේශයේ පවතින සුදුසු වැව් පිරිසිදු කිරීමටත් කඩිනමින් පියවර ගැනීමට තීරණය කර ඇත.

සුදුමලෙයි ප්‍රදේශයේ ගංවතුර බලපෑම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ආරම්භ කර, අවශ්‍ය අතිරේක ක්‍රියාමාර්ග ද පවතින තත්ත්වයන් මත අඛණ්ඩව මීළඟ අදියරවලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.