“ලංකාවෙන්ම උතුරු පළාතේ ළමා පරිවාස නිලධාරීන් ඉතාමත් විශිෂ්ට අයුරින් කටයුතු කරනවා.” – ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මහත් අභිමානයෙන් පවසයි.

ලංකාවෙන්ම උතුරු පළාතේ ළමා පරිවාස නිලධාරීන් ඉතාමත් විශිෂ්ට අයුරින් කටයුතු කරන බවත්, සෙසු පළාත්වල පැවැත්වෙන සාකච්ඡාවලදී අප පූර්වාදර්ශයක් ලෙස පෙන්වා දෙන්නේ මොවුන්ගේ සේවාව බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මහත් අභිමානයෙන් ප්‍රකාශ කළාය.

උතුරු පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවක් අද (30.06.2026) අඟහරුවාදා පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීමට එක්වෙමින් අදහස් දැක්වීමේදී අමාත්‍යවරිය ඉහත පරිදි සඳහන් කළාය.

මෙම සාකච්ඡාවේදී උතුරු පළාත් ළමා පරිවාස නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් මුහුණ දෙන අභියෝග පිළිබඳව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුජීවා සිවදාස් මහත්මිය විසින් අමාත්‍යවරිය වෙත සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී. විශේෂයෙන්ම, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදනවල ප්‍රමාණවත් නොවීම් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ළමුන් සඳහා වන සුවිශේෂී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් උතුරු පළාත තුළ නොමැති වීම හේතුවෙන්, ඔවුන් සහතික කළ පාසල් වෙත ඇතුළත් කිරීමේදී විවිධ ප්‍රායෝගික ගැටලු මතු වන බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, මානසික සෞඛ්‍ය අවශ්‍යතා සහිත ළමුන් රැකබලා ගැනීම සඳහා රජයේ ළමා නිවාස නොමැතිකම හේතුවෙන් පරිවාස නිලධාරීන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳවද අමාත්‍යවරියගේ අවධානයට යොමු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍යවරිය අවධාරණය කළේ, අත්හැර දැමූ ළමුන් වැළඳගෙන ඔවුන්ව රැකබලා ගැනීමේ මෙම කාර්යය හුදෙක් රැකියාවක් පමණක් නොවන බවත්, එය මහා සමාජ සේවාවක් යන හැඟීමෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

නීතිමය සංශෝධන අවශ්‍ය වන කරුණු සම්බන්ධයෙන් පළාත් 9ම ඒකාබද්ධ වී ලේඛනගත යෝජනාවලි ඉදිරිපත් කරන ලෙසත්, ඒ පදනම මත සුදුසු පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.
මෙතෙක් කල් උතුරු පළාත් නිලධාරීන්ට විදේශ පුහුණු අවස්ථා ප්‍රමාණවත් පරිදි ලබා නොදීම පිළිබඳව කනගාටුව පළ කළ ඇය, ඉදිරි කාලයේදී ඔවුන්ටද එවැනි පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළාය.

ළමුන් සඳහා වන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන සහ මානසික සෞඛ්‍ය අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවටද ඇය සහතික වූවාය.
ළමා නිවාසවලින් පිටවන තරුණ තරුණියන් සඳහා වන නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය මෙහිදී වැදගත් උපදෙස් කිහිපයක් ලබා දුන්නාය.

මෙම අවස්ථාවෙධ් උතුරු පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අත්පොත සහ එම දෙපාර්තමේන්තුවේ ළමා පරිවාස නිලධාරියෙකු විසින් ප්‍රථම වතාවට දෙමළ භාෂාවෙන් සකස් කරන ලද ‘පරිවාස නිලධාරීන් සඳහා වන අත්පොත’ අමාත්‍යවරිය ඇතුළු අමුත්තන් වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

මෙම උසස් මට්ටමේ සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක. ඉලංගුමරන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.