ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වේ.

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17.06.2026) බදාදා පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම රැස්වීමේදී, පසුගිය රැස්වීමේදී සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කෙරිණි. තවද අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු හරහා විවිධ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සවිස්තරාත්මකව සමාලෝචනය කරන ලදී. සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ක්ෂේත්‍රයේ මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ද ආණ්ඩුකාරවරයා විසින් මෙහිදී ලබා දෙන ලදී.

උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අදාළ විවිධ ස්ථානමාරු ප්‍රතිපත්ති සකස් කර යවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවත් ආණ්ඩුකාරවරයා වෙත මෙහිදී දැනුම් දෙන ලදී.

තමන් පත්වීම් ලැබූ විෂයන් හැර වෙනත් විෂයන් උගන්වනු ලබන ගුරුවරුන් සඳහා, එය වෙනස් කිරීමට ලබා දුන් අවස්ථාවට අනුව ලැබී ඇති අයදුම්පත් සහ ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද රැස්වීමේදී පැහැදිලි කෙරිණි.

කලාප තුළ ගුරු මණ්ඩල විධිමත් කිරීමේ කටයුතු මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව පෙන්වා දුන් අතර, එම කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, ඉතා කෙටි කලකින් ඒවා නිවැරදි කර අවසන් කරන බවත් නිලධාරීන් විසින් සහතික විය.

ස්ථානමාරුවීම් ලබා දී, පෙර සේවය කළ පාසල්වලින් මුදා හැරීමෙන් පසුවත් මෙතෙක් නව සේවා ස්ථානවල රාජකාරි භාර නොගත් ගුරුවරුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් අදාළ උපදෙස් ලබා දෙන ලදී.

සිසුන් සඳහා වන පාසල් පෝෂණ වැඩසටහන (දිවා ආහාර වැඩසටහන) ක්‍රියාත්මක කිරීමේදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දෙන ලදී.

යාපනය හින්දු විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ගගත (Online) අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය වසරේ පැවති උනන්දුව මෙවර පාසල්වලින් දක්නට නොලැබෙන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. එබැවින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තම කලාපයට අයත් අවශ්‍ය පාසල් වෙත සුදුසු උපදෙස් ලබා දී, මෙම වැඩසටහන සමඟ ඔවුන්ව සම්බන්ධ කිරීමට කටයුතු කරන ලෙස නියෝග කළේය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු (පරිපාලන, සැලසුම්, මුදල්, ඉංජිනේරු), පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් ක්‍රීඩා හා සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.