උතුරු පළාතේ දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින්, ස්වයං රැකියා ව්‍යවසායකයන් සෘජු අපනයනකරුවන් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නා. වේදනායකන් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ වංචනික නිෂ්පාදන හේතුවෙන් හානියට පත් වූ ‘යාපනය’ යන අපගේ විශේෂ වෙළඳ නාමය ආරක්ෂා කරගෙන, අපගේ නිෂ්පාදන සුවිශේෂීත්වය සමඟ විදේශ වෙළඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, කාන්තා ස්වයං රැකියා ව්‍යවසායකයන්ගේ ප්‍රදර්ශනය, ජාතික එකමුතු දිනයේ උත්සවය සහ ව්‍යවසායකයන්ට සහතික පත්‍ර ප්රදානෝත්සවය අද (23.12.2025) උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමේ අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම රජයේ වත්මන් ප්‍රධාන ප්‍රතිපත්තිය බවද, ඒ සඳහා දිවයින පුරා සමූපකාර නිෂ්පාදක සංගම් 1,000ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය. උතුරු පළාතේද නිෂ්පාදකයන් එකට එක්කරමින්, මෙම සංගම් හරහා නිෂ්පාදන හැකියාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
නව ලෙස ස්ථාපිත කරන ලද උතුරු පළාත් අපනයනකරුවන්ගේ සංගමය හරහා, දේශීය නිෂ්පාදකයන්ට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මඟින් හෝ සෘජුවම තම නිෂ්පාදන අපනයනය කිරීම සඳහා දොරටු විවෘත වී ඇති බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.
ලෝක වෙළඳපොළේ ‘යාපනය’ යන නාමය යටතේ වෙනත් රටවලින් පැමිණෙන අඩු ගුණාත්මක නිෂ්පාදන අලෙවි වීම අපගේ කීර්තියට හානියක් බවත්, එමනිසා අපගේ නිෂ්පාදන සඳහාම විශේෂ වෙළඳ නාමයක් නිර්මාණය කර එය අප විසින්ම භාවිතා කිරීමෙන් පමණක් අපගේ නිෂ්පාදනවල සුවිශේෂීත්වය හා වෙළඳපොළ ආරක්ෂා කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ වීමට නිෂ්පාදනවල ‘ගුණාත්මකභාවය’ ඉතා වැදගත් බවත්, ඒ සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකා ප්රමිතීන් ආයතනය (SLSI) සහ වවුනියා විශ්වවිද්‍යාලය එක්ව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙහිදී උතුරු පළාතේ නිෂ්පාදකයන්ට ගුණාත්මක සහතික ලබා ගැනීම ඉදිරියේදී තවත් පහසු වනු ඇති බවත් ආණ්ඩුකාරවරයා විශ්වාසය පළ කළේය.
කුඩා ව්‍යවසායකයන් මධ්‍යම හා විශාල කර්මාන්තශාලා ස්ථාපිත කර බොහෝ දෙනාට රැකියා අවස්ථා සලසන මට්ටමට පත් විය යුතු බව පළාත් සභාවේ අපේක්ෂාව බවත්, මෙම සියලු උත්සාහයන් සඳහා අවශ්‍ය මූල්‍ය සහාය සහ අනුග්‍රහය ලබා දීමට උතුරු පළාත් පරිපාලනය සැමවිටම සූදානම් බවත් ඔහු තහවුරු කළේය.
අද (23.12.2025) සහ හෙට (24.12.2025) යන දින දෙකක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවේදී ප්‍රදර්ශන කුටි විවෘත කරනු ලැබූ අතර, තෝරාගත් හොඳම ව්‍යවසායකයන්ට සහතික පත්‍රද ප්රදානය කරන ලදී. අඛණ්ඩ පුහුණුව හේතුවෙන් උතුරු පළාතේ දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ පැකේජින් ක්ෂේත්රයේ දෘශ්‍යමාන ප්‍රගතියක් ඇති වී ඇති බවද ආණ්ඩුකාරවරයා ප්‍රශංසා කළේය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිගේ සම්බන්ධීකාරකවරයා ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.







