උතුරු පළාතේ ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය සංවර්ධනය සහ වේගයෙන් ක්‍රියාත්මක වන සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම පිණිස බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් වේගවත් කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා උපදෙස් දුන්නේය.
උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21.08.2026) සිකුරාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
”2032 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් (Mine-free country) බවට පත්කිරීම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මෙම රජයේ අඛණ්ඩ අපේක්ෂාවයි. යුද සමයේදී වැඩිපුරම බලපෑමට ලක්වූ උතුරු පළාතේ, විශේෂයෙන් මුහමාලෙයි ප්‍රදේශයේ තවමත් විශාල වශයෙන් බිම්බෝම්බ පවතී. එම ප්‍රදේශයේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කර ඇති අතර, ඉතිරි පෞද්ගලික ඉඩම්වල ඇති බිම්බෝම්බද ඉවත් කර ජනතාව නැවත පදිංචි කිරීමටත් ජීවනෝපාය කටයුතුවලටත් ප්‍රමුඛතාව ලබාදිය යුතුය.
එමෙන්ම, රජය යටිතල පහසුකම් සහ සංචාරක ක්ෂේත්‍රය නැංවීම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබාදී ඇත. එම නිසා, එවැනි සංවර්ධන කලාප හඳුනාගෙන ඒවා බිම්බෝම්බවලින් තොර ප්‍රදේශ බවට තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, වාරි මාර්ග වැව් ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බැවින්, එම වැව් වටා ඇති වනාන්තර ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලද (Catchment areas) බිම්බෝම්බ ඉවත් කර ආරක්ෂාව තහවුරු කළ යුතුය. එම ප්‍රදේශ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින බැවින්, එහි බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ ජනරාල්වරයා සමග සාකච්ඡා කර සුදුසු පියවර ගන්නා ලෙසද” අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ (National Mine Action Center) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, 2010 සිට 2025 දක්වා කාලය තුළ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් (US Dollars) වැය කර ඇති බවයි. තවද, බිම්බෝම්බ ඉවත් කිරීමේදී 2002 වසරේදී සේවකයින් 252 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 2002 සිට 2025 දක්වා වූ දීර්ඝ කාලය තුළ තුවාල ලබා ඇත්තේ සේවකයින් 2 දෙනෙකු පමණක් බවත්, එය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ආරක්ෂිත සහ ප්‍රගතිශීලී තත්ත්වය පෙන්නුම් කරන බවත් නිලධාරීහු සඳහන් කළහ.
රජය උතුරු පළාතේ මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක පොල් ත්‍රිකෝණ කලාප ලෙස ප්‍රකාශයට පත්කරමින්, පොල් වගාව සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යයි. එම නිසා, පොල් නිෂ්පාදනය සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශවලද බිම්බෝම්බ ඉවත් කිරීම වේගවත් කළ යුතු බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ උප සාමාන්‍යාධිකාරීවරයා බිම්බෝම්බ ඉවත් කරන ආයතන සමග එක්ව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
මුහමාලෙයි සහ කුරිංජාතීව් ආශ්‍රිත ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වේගවත් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමට අනුව, 2027 වසරේ අග භාගය වන විට මුහමාලෙයි හි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව හැලෝ ට්‍රස්ට් (HALO Trust) ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු සහතික විය. එමෙන්ම, විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන ගෞතාරිමුනෙයි ප්‍රදේශයේ රජය සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ කටයුතු වේගයෙන් සිදුකරන බැවින්, එම ප්‍රදේශය ආශ්‍රිතවද බිම්බෝම්බ ඉවත් කිරීම වේගවත් කරන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආණ්ඩුකාර ලේකම්, මන්නාරම දිසාපති, මුලතිව් අතිරේක දිසාපති (ඉඩම්), යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ, උතුරු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී සහ MAG, HALO Trust, DASH, SHARP යන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනවල ප්‍රාදේශීය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.



