උතුරු පළාතේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මානව හා මූල්‍ය සම්පත් තහවුරු කිරීමට රජය අඛණ්ඩව අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
විශේෂයෙන්ම මුල්ලතිව්, මන්නාරම සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන නිලධාරී පුරප්පාඩු පියවීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ වසර දහයකට වැඩි කාලයක් සේවය කළ නිලධාරීන් කෙටි කාලයකට අදාළ දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කර සේවයේ යෙදවීමට පියවර ගන්නා බවත්, උතුරු පළාතට ලබන වසරේදීත් මේ වසරට වඩා වැඩි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
උතුරු පළාත් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.09.12) සෙනසුරාදා පෙරුපරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එහිදීය.
උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයට අනුව ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් ඇතුළු පිරිස්වල හිඟයක් පවතින බව තමා දන්නා බවත්, එය පියවීම සඳහා බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති අතර රජය මඟින් අවශ්‍ය බඳවා ගැනීම් සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
සේවක හිඟයක් පවතින පමණින් උතුරු පළාතට වෙන් කෙරෙන සංවර්ධන ප්‍රතිපාදන අඩු කළ නොහැකි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, අතීතයේ ‘වඩක්කින් වසන්තම්’ වැනි ව්‍යාපෘති යටතේ වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් වර්තමානයේ වෙන් කර ඇති බව සඳහන් කළේය. ඉදිරියේදීත් උතුරු පළාතට වැඩි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙන් කෙරෙන මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා පළාත් ආයතන සූදානමින් සිටිය යුතු බව අවධාරණය කළේය.
අතීතයේ රටේ පැවැති අර්බුද සහ යුද්ධය හේතුවෙන් ජනතාව මුහුණ දුන් පීඩාවලට ඊළඟ පරම්පරාව මුහුණ නොදිය යුතු බවත්, සැවොම එක්ව ගැටුම්වලින් තොර රටක් ගොඩනැගිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
රට මේ වන විට ආර්ථික ස්ථාවරත්වය දෙසට ගමන් කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, රජය රාජ්‍ය දේපළ විකිණීම, මුදල් අච්චු ගැසීම හෝ අධික ලෙස ණය ගැනීමෙන් වැළකී, බදු වංචා පාලනය කිරීම, අපනයන නිසි ලෙස කළමනාකරණය කිරීම සහ අනවශ්‍ය සුඛෝපභෝගී වියදම් අඩු කිරීම වැනි පියවර හරහා භාණ්ඩාගාර ආදායම ශක්තිමත් කරමින් සිටින බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම, ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයක් ඇති කිරීම ඇතුළු ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා රජය මූලිකත්වය දී මුදල් වියදම් කරන බවද ඔහු සඳහන් කළේය.
රට තුළ ප්‍රමාණවත් මූල්‍ය සම්පත් පැවැති බැවින් ‘දිට්වා’ ව්‍යසනයෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා රජයට වහාම මුදල් ලබා දීමට හැකි වූ බව පැවසූ අමාත්‍යවරයා, දැනට අපනයන මඟින් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක පමණ ආදායම අනාගතයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවද පැවසීය.
මහා භාණ්ඩාගාරයේ මුදල් රැස් කර තැබීම රජයේ අරමුණ නොවන බව පැවසූ අමාත්‍යවරයා, එම මුදල් ජනතාවගේ අවශ්‍යතා සඳහා පහළම මට්ටම දක්වා ගෙන යාම රජයේ අරමුණ බව පැවසීය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන හරහා ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව මුදල් කාර්යක්ෂමව භාවිත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ අරමුණ කරා ගමන් කරන අතරතුර රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනය පිළිබඳවද රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, 2025, 2026 සහ 2027 යන වසර තුන තුළ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප පියවරෙන් පියවර ඉහළ දමා ඇති බව පැවසීය.
2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වීමට නියමිත මූලික වැටුප පදනම් කරගනිමින් වර්තමානයේ අතිකාල දීමනා ගණනය කරන බවත්, එම කාලසීමාවේදී විශ්‍රාම යන පිරිසගේ විශ්‍රාම වැටුපද 2027 වසර සඳහා වන මූලික වැටුප පදනම් කරගනිමින් ගණනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය. අතීතයේ ලබා දුන් වැටුප් වැඩිවීම් බොහොමයක් දීමනා ලෙස පැවැති අතර, වර්තමාන රජය විසින් මූලික වැටුපම ඉහළ දමා ඇති බවද ඔහු සඳහන් කළේය.
රජය භාර ගන්නා අවස්ථාවේදී මුළු රටේම 350,000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් පැවැති බවත්, 2025 වසරේදී 35,000කට පත්වීම් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය ඇතුළු රාජ්‍ය සේවාවන් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇති අතර, 125,000ක පුරප්පාඩු ප්‍රමාණයක් පිරවීම සඳහාද පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය. පසුගිය වසර හය තුළ රට තුළ විධිමත් බඳවා ගැනීම් සිදු නොවූ තත්ත්වයක් පැවැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආණ්ඩුකාරවරයා, අමාත්‍යවරුන් සහ රාජ්‍ය ආයතන සතුව පවතින බොහෝ වාහන වසර දහයකට වඩා පැරණි ඒවා බව පැවසූ අමාත්‍යවරයා, නව වාහන 2,000කින් එක් තොගයක් හෝ මේ වසර අවසන් වීමට පෙර ආනයනය කර දෙපාර්තමේන්තු භාවිතය සඳහා ලබා දීමේ බලාපොරොත්තුවක් පවතින බවද සඳහන් කළේය.
ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව සිදුවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම දුරබැහැර ප්‍රදේශවල සිට අධික වියදමක් දරා කාර්යාල වෙත පැමිණෙන ගොවීන් ඇතුළු මහජනතාව කනගාටුවෙන් ආපසු නොයන ලෙස, ඔවුන් ලබා ගැනීමට පැමිණෙන සේවාව නිසි පරිදි ලබා දෙන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය සේවාවන් ජාති, ආගම්, භාෂා, පක්ෂ ඇතුළු කිසිදු වෙනසකින් තොරව සැමට සමව ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.
තවද, එළඹෙන 14 වැනිදා සිට පළාත් පාලන සතිය ආරම්භ වීමට නියමිත බැවින්, පළාත් පාලන ආයතන සිය සේවාවන් ජනතාවට පැහැදිලිව හඳුන්වා දිය යුතු අතර ජනතාව සොයා ගොස් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සේවාවන් සැපයිය යුතු බව අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
උතුරු පළාත් සභාව පසුගිය වසරේ වෙන් කළ මුදලින් සියයට 99ක් වියදම් කර තිබීම පිළිබඳව පළාතේ සියලුම නිලධාරීන්ට පැසසුම් එක් කළ අමාත්‍යවරයා, අනාගතයේදීත් වෙන් කෙරෙන මුදල් එලෙසම කාර්යක්ෂමව භාවිත කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු අමාත්‍ය ඉ. චන්ද්‍රසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, පරිපාලන හා මුදල් පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ, මහා නගර සභා කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



