භාවිතයෙන් තොරව පැවති කෘතිම සිංචන (IVF) ප්‍රතිකාර සඳහා වන නවීන උපකරණ, ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ සෘජු මැදිහත්වීම මත භාවිතයට ගැනීමේ සුවිශේෂී ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරේ

නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් මහා රෝහලේ ඉදිකරන ලද ‘කාන්තා සෞඛ්‍ය සේවා සහ මාතෘ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය’ තුළ භාවිතයෙන් තොරව පැවති, රුපියල් මිලියන ගණනක් වටිනා කෘතිම සිංචන (IVF) ප්‍රතිකාර සඳහා වන නවීන උපකරණ, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ සෘජු මැදිහත්වීම මත ජනතා අයිතියට පත් කිරීමේ ඓතිහාසික සුවිශේෂී ව්‍යාපෘතිය අද (2026.06.19) සිකුරාදා දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ලංකාවේ රජයේ රෝහලක් තුළ සහායක ප්‍රජනන තාක්ෂණ සහ කෘතිම සිංචන (IVF) ප්‍රතිකාර පහසුකම් ස්ථාපිත කර ආරම්භ කරන ලද පළමු අවස්ථාව මෙය වීම මෙහි ඇති සුවිශේෂීතාවයයි.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව කිලිනොච්චි රෝහලේ මෙම විශේෂ සත්කාරක මධ්‍යස්ථානය පිහිටුවනු ලැබූ අතර, කෘතිම සිංචන ප්‍රතිකාර සඳහා වන අතිනවීන උපකරණ ද ලබා දී තිබුණි. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත ඒවා දිගු කලක් තිස්සේ භාවිතයෙන් තොරව පවතින්නට විය.

මෙවන් තත්ත්වයක් තුළ, පසුගිය වසරේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා, මෙම උසස් තත්ත්වයේ උපකරණ ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම සඳහා ඉහළ පෙළේ සාකච්ඡා පවත්වන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ උතුරු පළාත් සභාව අතර විශේෂ ගිවිසුමකට අත්සන් තැබූ අතර, එහි අඛණ්ඩ පියවරක් ලෙස අද සිකුරාදා (2026.06.19) දින මෙම සේවාව නිල වශයෙන් ජනතා භාවිතය සඳහා පවරා දෙන ලදී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන්, ශාරීරික හා මානසික වශයෙන් විවිධ වෛද්‍ය නීති රීති සහ පරීක්ෂණවලට භාජනය කර සුදුසුකම් ලැබූ කාන්තාවන් සිව්දෙනෙකු තෝරාගෙන ඇත. කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේදී ඔවුන් සඳහා වන කෘතිම සිංචන ප්‍රතිකාර කටයුතු අද සිට සම්පූර්ණයෙන්ම නොමිලේ ආරම්භ කර තිබේ.

මෙම සුවිශේෂී ඒකාබද්ධ වැඩපිළිවෙළ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල සහ කිලිනොච්චි දිස්ත්‍රික් රෝගී සුභසාධන සංගමය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද, ශල්‍ය වෛද්‍ය මෙන්ම ප්‍රජා සහ පවුල් වෛද්‍ය අංශයන්හි අධ්‍යාපනික හා වෛද්‍ය විශේෂඥ දැනුම මෙම ව්‍යාපෘතිය සඳහා ලැබී ඇත. තවද, මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය තාවකාලික මානව සම්පත් සැපයීම වෙනුවෙන්, කැනඩාවේ යාපනය වෛද්‍ය පීඨ විදේශීය ආදි ශිෂ්‍ය සංගමය සිය ත්‍යාගශීලී මූල්‍ය ආධාර සහ අනුග්‍රාහකත්වය ලබා දෙමින් දායක වී ඇත.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දීම, පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් වන අතර, දරුඵල ලැබීමේ අභියෝගවලට මුහුණ දෙන මෙම කලාපයේ විවාහක යුවළයන්ට උසස් ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමට ලැබුණු කලාතුරකින් ලැබෙන අනගි අවස්ථාවකි.
මේ අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල සඳහා අතිරේක කාර්ය මණ්ඩල තනතුරු 58 ක් අනුමත කර ඇති බව ද සඳහන් කළ යුතුය.