නෙඩුන්තීවු ජැටියේ අලුතින් ඉදිකළ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය සහ මගී විවේකාගාරය විවෘත කෙරේ

“නෙඩුන්තීවු ප්‍රදේශයේ ජනතාවගේ පීඩාවන් මම හොඳින් දනිමි. ඔබගේ දුක්ගැනවිලි මම කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරමි. වත්මන් රජය යටතේ, ඔබගේ ප්‍රදේශයේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමට පූර්ණ අවස්ථාව පවතී. සියල්ල එකම දිනකින් නිම කිරීමට අපට වුවමනාව තිබුණද, ප්‍රායෝගිකව එය සිදු කළ හැක්කේ පියවරෙන් පියවරය,” යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය.

උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ රුපියල් මිලියන 38ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, නෙඩුන්තීවු ජැටියේ අලුතින් ඉදිකළ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය සහ මගී විවේකාගාරය (නාන කාමර සහ වැසිකිළි පහසුකම් සහිතව) විවෘත කිරීමේ උත්සවය අද (16.04.2026) බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්විණි.

නෙඩුන්තීවු ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. සත්‍යවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සහ යාපනය දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන් මහතා අමුත්තන් ලෙස සහභාගී වී මෙම ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කළහ.

මෙහිදී ජනතාව ඇමතූ ගරු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය:
“මම 1991 වසරේ මගේ ප්‍රථම පත්වීම ලෙස සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයකු (AGA) ලෙස මෙම ප්‍රදේශයට පැමිණියෙමි. එතැන් සිටම මෙම ජනතාව මුහුදු ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දෙන බව මම දනිමි. එකල ජනතාව පැවසුවේ ‘කුමුදිනී’ බෝට්ටුව මෙම ප්‍රවාහනයට වඩාත් යෝග්‍ය බවයි. එමෙන්ම නෙඩුන්තීවු ජැටිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ද දීර්ඝ කාලයක සිට ඉල්ලීම් ඉදිරිපත් විය. මා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසුව ද මෙම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමට බොහෝ උත්සාහයන් ගත්තද, එය සම්පූර්ණයෙන්ම සාර්ථක වූයේ නැත.

වත්මන් රජය එම වැඩපිළිවෙළ සඳහා ක්‍රියාකාරී පියවර ගනිමින් සිටී. මා දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස සිටියදී ජනතාව වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වූ බොහෝ දේ, වත්මන් රජයේ පාලනය යටතේ ප්‍රායෝගිකව ඉටු වෙමින් පවතී. එය මට මහත් සතුටකි. මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ චන්ද්‍රසේකර යන මහත්වරුන්ට මගේ විශේෂ ස්තුතිය පිරිනමමි. ඔවුන් පමණක් නොව, මෙම රජයේ සියලුම අමාත්‍යවරුන් නෙඩුන්තීවු ඇතුළු අපගේ සියලුම දූපත්වල සංවර්ධනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.

නෙඩුන්තීවු වෙත ගමන් කරන බෝට්ටුවලට කුරිකාට්ටුවන් ජැටියේ ඇති අපහසුතා පිළිබඳව පසුගිය වසරේ මා මෙහි පැමිණි විට ජනතාව පෙන්වා දුන්හ. දැනට කුරිකාට්ටුවන් ජැටිය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. එබැවින් එම ගැටලුව ද ඉක්මනින් විසඳෙනු ඇත.

නෙඩුන්තීවු ජැටිය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ද අප සූදානම්ය. කිනම් දෙපාර්තමේන්තුවක් හරහා හෝ ජනතාවගේ සංවර්ධන කටයුතු බාධාවකින් තොරව සිදුවිය යුතු යන්න අපේ අරමුණයි.
ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දෙන පානීය ජල ගැටලුව විසඳීම සඳහා මුහුදු ජලය පිරිපහදු කරන තවත් නව යන්ත්‍රයක් මෙහි ඉක්මනින් ස්ථාපනය කිරීමට නියමිතය. එමෙන්ම ඉන්ධන පිරවුම්හලක් ද නුදුරේදීම ස්ථාපිත කෙරෙනු ඇත.

පසුගිය වර මා මෙහි පැමිණි විට ප්‍රධාන මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කර පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ එහි කොටසක් නිම කළෙමු. ඉතිරි වැඩකටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බව දන්වා ඇත. එම කටයුතු ද ඉක්මනින් ආරම්භ වනු ඇත. පළාත් සභා අරමුදලින් අභ්‍යන්තර මාර්ග ද ප්‍රතිසංස්කරණය කර ඇත. විශේෂයෙන්ම මේ වසරේ රුපියල් මිලියන 65ක වියදමින් තීර්ථක්කරේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. එලෙසම බෝට්ටු සේවාවන් විධිමත් කිරීම සඳහා පළාත් සභාව මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම වැඩකටයුතු කඩිනමින් සිදුවේ. මුහුදු ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන වර්තමාන පීඩනය වහාම සමනය කිරීම සඳහා තාවකාලික විධිවිධාන ද ගෙන ඇත.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය වෙත අප ඉදිරිපත් කරන සියලුම මූල්‍ය ඉල්ලීම් සඳහා වහාම ප්‍රතිපාදන ලැබෙමින් පවතී. රජය සතුව ඒ සඳහා මුදල් ඇත. නමුත් සැලසුම් ක්‍රියාත්මක කරන රජයේ දෙපාර්තමේන්තු තුළ විශාල ප්‍රමාදයන් දක්නට ලැබේ. විවිධ ප්‍රායෝගික ගැටලු පවසමින් ඔවුන් ව්‍යාපෘති ප්‍රමාද කරයි. මෙයින් පීඩාවට පත්වන්නේ මහජනතාවයි. රජය වෙනස් වුවද ඇතැම් නිලධාරීන් තවමත් වෙනස් වී නොමැති වීම කනගාටුවට කරුණකි.

මෙම නෙඩුන්තීවු ප්‍රදේශයේ තරුණ තරුණියන් වැඩි වැඩියෙන් රජයේ ඉහළ තනතුරුවලට පැමිණිය යුතුය. එවිට මෙම ප්‍රදේශය තව තවත් වේගයෙන් සංවර්ධනය වනු ඇත. අනාගතයේදී නෙඩුන්තීවු ප්‍රදේශය සංචාරකයින්ගෙන් පිරී යන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වන බව නිසැකය,” යැයි ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන් මහතා, “මම මෙහි පැමිණ නැවතී සිට ජනතාව සමඟ සාකච්ඡා කළ විට ඔවුන් බොහෝ ගැටලු ඉදිරිපත් කළා. ඒවා විසඳීමට දැන් පියවර ගනිමින් සිටිනවා. සංචාරක කර්මාන්තය යනු කෙටි කාලයක් තුළ ආයෝජනයෙන් ලාභ ලැබිය හැකි අංශයක්. නෙඩුන්තීවු වෙත පැමිණෙන සංචාරකයින් දිනක් දෙකක් මෙහි නතර කරවා ගැනීමට හැකි වන පරිදි සංචාරක ක්ෂේත්‍රය සැලසුම් සහගතව දියුණු කළ යුතුයි. නෙඩුන්තීවු හි මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙම ජනතාවගේ මූලික අවශ්‍යතා ඇතුළු සියලු පහසුකම් අප අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරනවා,” යැයි පැවසීය.

නෙඩුන්තීවු ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. සත්‍යවර්ධන මහතා සිය මුලසුනේ අදහස් දක්වමින්, “අපේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා දුනහොත්, ජනතාවම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සංචාරක කර්මාන්තය උනන්දුවෙන් දියුණු කරනු ඇත,” යැයි සඳහන් කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, නෙඩුන්තීවු ප්‍රාදේශීය ලේකම්, උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින්, යාපනය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්, සංචාරක කාර්යාංශයේ අධ්‍යක්ෂ, රජයේ නිලධාරීන් සහ මහජනතාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.