උතුරු පළාතේ පොලිස් කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා, මාරාන්තික මත්ද්‍රව්‍ය පාලනය කිරීම, වැලි මාෆියාවේ ක්‍රියාකාරකම් වැළැක්වීම සහ මාර්ගවල යෞවනයන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනෙකුත් මාර්ග පරිශීලකයින්ට තර්ජනයක් වන තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා සහ උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාරගත් දිනේෂ් කරුණානායක මහතා අතර හමුව අද (2026.08.24) සඳුදා උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමූ ආණ්ඩුකාරවරයා, උතුරු පළාතේ නීතිය, සාමය සහ මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශිෂ්ට සේවාවක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.
ආණ්ඩුකාරවරයා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන් යාපනය දිස්ත්‍රික්කයේ සේවය කළ ආකාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා මෙහිදී සිහිපත් කළේය. එහිදී උතුරු පළාතේ වත්මන් තත්ත්වය සහ පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෑත කාලයේ උතුරු පළාතේ පොලිස් කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, විශේෂයෙන්ම මාරාන්තික මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන පියවර තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
තවද, නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීම සහ ජාවාරම් කිරීම්වලට සම්බන්ධ වැලි මාෆියාවේ ක්‍රියාකාරකම් වැළැක්වීම මෙන්ම, මාර්ගවල අධික වේගයෙන් යතුරුපැදි පදවමින් මහජනතාවට තර්ජනයක් වන යෞවනයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම කෙරෙහි ද මෙම හමුවේදී අවධානය යොමු විය.
මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් මහජන ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු වන පරිදි අඛණ්ඩ පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට යාපනය කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමහ මහතා ද එක්විය.



