සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී උතුරු පළාත දිවයිනේ ඉදිරියෙන්ම – ගරු ආණ්ඩුකාරතුමා

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී උතුරු පළාත අද වන විට දිවයිනේ ප්‍රමුඛතම පළාත බවට පත්ව තිබේ. මෙම ප්‍රගතිය කිසියම් එක් කාර්යාලයක ජයග්‍රහණයක් නොවන අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වා ක්‍රමසම්පාදන, සමෘද්ධි, සමාජ සේවා සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රවල ක්‍ෂේත්‍ර මට්ටමින් කටයුතු කළ සියලුම නිලධාරීන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද උතුරු පළාත් ජාතික සමාජ ආරක්ෂණ සම්මාන උළෙල – 2026 අද (2026.09.30) බුද්ධදා දින වවුනියාවේ පිහිටි ‘සෙල්වජීවිදම්’ හෝටල් ශාලාවේදී පැවැති අවස්ථාවේදී ගරු ආණ්ඩුකාරතුමා මේ බව ප්‍රකාශ කළේය.

සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රය සමඟ තමන්ට ඇති සබඳතාව ගරු ආණ්ඩුකාරතුමා ධුරයට පත්වීමෙන් පසු ඇති වූවක් නොවන බව සඳහන් කළ ගරු ආණ්ඩුකාරතුමා, තමන් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ 2016 සහ 2017 යන වසරවලදී අඛණ්ඩව වසර දෙකක් සමාජ ආරක්ෂණය වෙනුවෙන් වන ජාතික සම්මානය දිනාගත් බවද සිහිපත් කළේය. එකල ලැබුණු එම සම්මානය පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස නොසැලකූ අතර, තමන් සමඟ ක්‍ෂේත්‍රයේ සේවය කළ සිය ගණනක් වූ රාජ්‍ය නිලධාරීන්ගේ මහන්සියට ලැබුණු ඇගයීමක් ලෙස සැලකූ බවද හෙතෙම පැවසීය.

වසර ගණනාවකට පසු එකම ක්ෂේත්‍රයේ උත්සවයකට ආණ්ඩුකාර ලෙස සහභාගී වී, කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන් අගය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවද ආණ්ඩුකාරතුමා සඳහන් කළේය.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී උතුරු පළාත ඉදිරියෙන්ම සිටින බව 2025 වසරේ දත්තවලින්ද පැහැදිලි වන බව පෙන්වා දුන් ගරු ආණ්ඩුකාරතුමා, මෙම ප්‍රගතිය තනි කාර්යාලයක පෞද්ගලික කාර්යක්ෂමතාව නිසා ඇති වූවක් නොවන බව පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්‍රමසම්පාදන හා සමෘද්ධි නිලධාරීන්, සමාජ සේවා හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රවල සේවය කරන්නන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වා සියලු දෙනාගේම අඛණ්ඩ ක්‍ෂේත්‍ර කාර්යභාරය මෙයට පදනම වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

‘සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප යනු හුදෙක් මුදල් ප්‍රමාණයක් ලබා දීමේ ව්‍යාපෘතියක් පමණක් නොවේ. රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන අයෙකුගේ මහලු වියේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව මරණාධාර, ආබාධිත ප්‍රතිලාභ, අධ්‍යාපන ශිෂ්‍යත්ව ඇතුළු විවිධ සමාජ ආරක්ෂණ අංගයන්ගෙන් සමන්විත පුළුල් ආරක්ෂණ පද්ධතියකි’ යි ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය.

මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස තමන් කටයුතු කළ කාලය ද සිහිපත් කළ ගරු ආණ්ඩුකාරතුමා, එම කාලසීමාව තුළ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය එහෙස හඳුන්වා දුන් බවත්, එකල ආරම්භ කරන ලද කුඩා ප්‍රයත්නයක් අද වන විට සාර්ථකව ඉදිරියට ගෙන යන ආකාරය දකින විට, පරිපාලනමය ප්‍රයත්නයක් කාලයත් සමඟ ජනතාවගේ ජීවිතවල මුල් බසින වැදගත් ආරක්ෂණ පද්ධතියක් බවට පත්වන්නේ කෙසේද යන්න වටහා ගත හැකි බවත් පැවසීය.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිටුපස සිටින ක්‍ෂේත්‍රයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් සැබෑ නියමුවන් බව සඳහන් කළ ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වාත්, එතැනින් ග්‍රාම නිලධාරී වසම් පසුකරමින් ජනතාවගේ නිවෙස් වෙතම ගොස් ඔවුන් හමුවී, ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කර දී ඔවුන් ප්‍රතිලාභීන් ලෙස සම්බන්ධ කරගත් සියලුම නිලධාරීන්ට සිය විශේෂ ඇගයීම පිරිනැමීය.

ජාතික සම්මාන ලබන නිලධාරීන්ට සුබ පැතුම් එක්කළ ගරු ආණ්ඩුකාරතුමා, ‘මෙම සම්මානය ඔබේ සේවයේ අවසානය සඳහා වන ඇගයීමක් නොවන අතර, තවදුරටත් කැපවීමෙන් කටයුතු කිරීමේ වගකීම වැඩි කරන ඇගයීමකි’ යි සඳහන් කළේය. ඔවුන්ගේ සේවය දෙස බලා තරුණ නිලධාරීන් ඉගෙන ගනු ඇති බවත්, එම සේවය තුළින් රාජ්‍ය සේවය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බවත් හෙතෙම පැවසීය.

ඉදිරි වසරවලදී වැඩිහිටි ජනගහනය තවදුරටත් වැඩි වන පසුබිමක සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවල වැදගත්කමද වැඩි වන බව පෙන්වා දුන් ගරු ආණ්ඩුකාරතුමා, ‘අද අප නිර්මාණය කරන සමාජ ආරක්ෂණ පද්ධතිය හෙට පරපුරේ සුබදායී ජීවිතය සඳහා පදනම වනු ඇත’ යි පැවසීය.

උතුරු පළාත දැනට ඉදිරියෙන්ම සිටීම ගැන ආඩම්බරයෙන් කතා කිරීමෙන් පමණක් නොනැවතී, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, තවත් වැඩි පිරිසක් සමාජ ආරක්ෂණ ජාලය තුළට ගෙන ඒමටත් සැමට වගකීමක් ඇති බව ගරු ආණ්ඩුකාරතුමා අවධාරණය කළේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු අමාත්‍ය ඉ. චන්ද්‍රසේකර් මහතා ද, විශේෂ ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ද, ගෞරවනීය ආරාධිතයා ලෙස සමූපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ද සහභාගී වූහ. යාපනය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, ග්‍රාම නිලධාරීන්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සාම්ප්‍රදායික පහන දැල්වීම, පිළිගැනීමේ කතාව, පිළිගැනීමේ නර්තනය, විශේෂ දේශන සහ සම්මාන ප්‍රදානය ඇතුළු අංග රැසක් උත්සවයට ඇතුළත් විය.