රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතුය. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්.

ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිළධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 13 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සංවිධානය කර තිබිණි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවති එම සම්මන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දූෂණයට සම්බන්ධ වන ඉහළ නිළධාරීන් දඬුවම් වලින් බේරී සිටින අතර සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම් වලට ලක් වන බවයි. අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිළධාරීන්ට දඬුවම් කිරීම පමණක් බව ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන්, රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් මෙම වැඩමුළුවට සහභාගී වූහ.