මුලතිව් මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

මුලතිව් දිස්ත්‍රික්කයේ මන්ති සහ තුනුකායි ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම සඳහා අද (2024/05/15) මුල්ගල් තබන ලදී.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ජල පවිත්‍රාගාරය ඉදිකිරීමට මුල්ගල් තැබූහ.

භූගත ජලය හේතුවෙන් මන්ති සහ තුනුකායි ප්‍රදේශවල සියයට තුනක ජනතාවකට සිදුව ඇති වකුගඩු හානියට විසඳුම් ලබාදීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හරහා මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

අලුතින් ඉදිකෙරෙන මතුපිට ජල පවිත්‍රාගාරයට වවුනිකුලම් වැවෙන් ජලය ලැබෙන අතර ඉන් කරුම්පුල්ලියන් කුලම්වැවට ජලය ලැබේ.

ලෝක බැංකුවේ රුපියල් මිලියන 1856ක මූල්‍ය ආධාර යටතේ ආරම්භ කර ඇති මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2025 ජූලි 30 වැනිදා අවසන් කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය හරහා මාන්තෙයි නැගෙනහිර සහ තුනුකායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 35 ක ජීවත් වන පවුල් 6968 කට සෙත සැලසේ.