කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධනය අපනයනය ඉලක්ක කරගත් එකක් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් අප ඔවුන්ට ලබා දිය යුතුයි – ගරු ආණ්ඩුකාරතුමාගේ දේශනයෙන්

ඕනෑම නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ඔවුන්ට ලැබිය යුතු බවත්, අතරමැදියන්ට ලාභ ලැබීමට ඉඩ නොතබා නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලැබෙන විට අපේ පළාත සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත විය හැකි බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.

‘උතුර සඳහා වූ කර්මාන්ත මණ්ඩලයේ’ (Industries Forum for North) වාර්ෂික මහා සභාව අද සෙනසුරාදා (21.03.2026) සවස යාපනය නෝර්ත් ගේට් හෝටලයේදී එම මණ්ඩලයේ සභාපති එස්. නකුලේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් විශේෂ දේශනයක් පවත්වමින් ආණ්ඩුකාරවරයා ඉහත කරුණු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “කර්මාන්ත ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයකින් තොරව අපේ පළාත දියුණු විය නොහැකියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධනය අපනයනය ඉලක්ක කරගත් එකක් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් අප ඔවුන්ට ලබා දිය යුතුව තිබෙනවා. මේ සඳහා රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ආකල්පවල තවමත් වෙනසක් සිදු විය යුතුයි. ආරම්භයට වඩා දැනට යම් වෙනස්කම් දක්නට ලැබුණත්, මම තවදුරටත් ප්‍රබල වෙනස්කම් බලාපොරොත්තු වෙනවා,” යැයි පැවසීය.

මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “යුද්ධය අවසන් වූ පසු ගතවූ වසර 16 තුළ අපේ පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධනය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. නමුත් රජය ලබාදෙන ණය පහසුකම් ලබාගැනීමේදී ඔවුන් තවමත් බොහෝ අභියෝගවලට මුහුණ දෙනවා. රජය ප්‍රකාශ කරන සහනදායී පොලී ණය යෝජනා ක්‍රම මුළු රටටම පොදු වන අතර ඒවා ලබා දෙන්නේ ‘පළමුව පැමිණෙන්නන්ට ප්‍රමුඛතාවය’ (First come, first served) යන පදනම මතයි.

අපේ ව්‍යවසායකයින් බැංකු ඉල්ලා සිටින ලේඛන සූදානම් කරන විට, අනෙකුත් පළාත්වල අය එම ණය ලබාගෙන අවසානයි. මෙයට විසඳුමක් ලෙස අපි කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පළමුවැන්න, උතුරු පළාත සඳහාම වෙන්වූ විශේෂ ණය මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා සිටීමයි. දෙවැන්න, අපේ ව්‍යවසායකයින්ට අවශ්‍ය ලේඛන සකස් කර ගැනීම සඳහා මෙහි ඇති විශ්වවිද්‍යාල හරහා සහය ලබා දීමට පියවර ගැනීමයි,” යැයි පැවසීය.

සංචාරක කර්මාන්තය සහ යටිතල පහසුකම් පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “අපේ පළාතේ මෙන්ම රටේ ආර්ථිකයට සංචාරකයින් ඉතා වැදගත්. උතුරු පළාතට ඉන්දියාවෙන් විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙනවා. එය තවදුරටත් වැඩි කිරීම සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ සහය ඇතිව ඇතැම් පියවර ගනිමින් සිටිනවා. කොළඹ සහ යාපනය අතර ගමන් කාලය සංචාරකයින්ගේ පැමිණීමට විශාල බලපෑමක් කරනවා. මෙයට විසඳුමක් ලෙස වත්මන් රජය කටුනායක ගුවන් තොටුපළේ දේශීය පර්යන්තයක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලයට පැමිණෙන සංචාරකයින්ට උතුරට පහසුවෙන් ගමන් කිරීමට හැකි වන පරිදි කොක්කිලායි – පුල්මුඩේ පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව ද සකස් කරමින් පවතිනවා.

එමෙන්ම උතුරු පළාතට පැමිණෙන ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් අදාළ සියලුම රජයේ දෙපාර්තමේන්තු ඒකාබද්ධව එකම වහලක් යටදී (Single Window System) ලබා දීමට අප උත්සාහ කරමින් සිටිනවා. මෙය ක්‍රියාත්මක වන විට ආයෝජකයින්ට එය විශාල අවස්ථාවක් වනු ඇත,” යැයි ද ආණ්ඩුකාරවරයා සිය දේශනයේදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ හා කොන්සියුලර් පරිපාලන ප්‍රධානී රම්‍යා චන්ද්‍රසේකරන් මහත්මිය, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, බැංකු කළමනාකරුවන්, ව්‍යවසායකයින් සහ උතුර සඳහා වූ කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.