ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි.

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බවත් බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන අතර කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගන බවටද කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වව්නියාව දිස්ත්‍රික් සංස්කෘතික  ශාලාවේදී අද (05) පැවති වව්නියාව, මුලතිව්  හා මන්නාරම දිස්ත්‍රික්කවල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට  එක්වෙමිනි .

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බස්නාහිර පළාත අද මෙරට ආර්ථිකයේ ප්‍රධාන එංජිම බව පෙන්වා දුන් ජනාධිතිවරයා ඉදිරියේ දී දකුණු, උතුරු, මධ්‍යම යන පළාත් මෙන්ම වයඹ පළාත ද ඊට එක් කර ගනිමින් ප්‍රධාන එංජින් 05ක් යටතේ මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

වව්නියාව, මන්නාරම හා මුලතිව්  දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම්, ඉඩම්,විදුලිය,ජලය, සංචාරක, වන සංරක්ෂණ හා ධීවර  ක්ෂේත්‍රවල පවතින ගැටලු  පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර එම ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට  ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් බවට කොළඹ, මහනුවර මෙන්ම උතුරු පළාත පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

අපේ රටේ ආර්ථිකයට තිබුණේ එක එංජිමයි. ඒ තමයි බස්නාහිර පළාත. මෙරට ජාතික ආර්ථිකයට 50%ට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ බස්නාහිර පළාතයි. අනෙක් පළාත්වලින් ලැබෙන ආර්ථික දායකත්වය පසුගාමී තැනකයි තිබෙන්නේ. රටක් ලෙස වේගයෙන් ඉදිරියට යාමට නම් ආර්ථිකය ඉදිරියට ගෙන යන එම එංජින් ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ සඳහා අනෙකුත් පළාත්වලද ශක්තිමත් ආර්ථිකයක් ඇති කළයුතුයි. ඒ සඳහා අප පළාත් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. දකුණ, උතුර, බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් පහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකට පුළුල් දායකත්වයක් ලබාදෙන පළාත් ලෙස ගොඩනැංවිය යුතුයි.

වර්තමානය වන විට රටට මූල්‍ය ශක්තියක් තිබෙන නිසා අතරමග නවතා දමා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලටත් එම ආධාර ලබාගැනීමට අවස්ථාව ලැබී  තිබෙනවා.

ඒ වගේම උතුරු පළාත මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාව පවතිනවා. උතුරු පළාතේ තිබෙන සුළං සහ තාප තත්ත්වයන් අනුව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් තිබෙනවා.  උතුරු පළාතෙන් නිපදවිය හැකි බලශක්තිය ගණනය කර බැලුවොත් ඉතිරි කොටස ඉන්දියාවට  අළෙවි කර  මුදල් ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතේ ගොවීන් ඉතාම දක්ෂ කාර්යක්ෂම පිරිසක්. කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ උතුරු පළාතේ ගොවි බිම් කළමනාකරණය කිරීම තුළින්  අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කළ හැකියි.

මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියේ,

පසුගිය උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බිහිකිරීමට යාපනය දිස්ත්‍රික්කය සමත් වුණා. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේත් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට උතුරු පළාත සමත් වී තිබෙනවා. මඩු සහ තුනක්කායි ප්‍රදේශය එක් කර අධ්‍යාපන කලාපයක් නිර්මාණය කිරීමට   සැලසුම් කර තිබෙන බව ද කිවයුතුයි.

උතුරු පළාතේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විදුහල්පතිවරු සහ ගුරුවරුන් ස්ව කැමැත්තෙන්ම කාර්යක්ෂමව වැඩ කරමින් සිටිනවා. ඒ පිළිබඳ සතුටු විය හැකියි.  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු විසඳා ගැනීමටද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම කෘෂිකර්ම අංශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් මෙතෙක් වගා නොකළ ප්‍රදේශවල වගාවන් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය මැදිහත්විම සිදු කිරීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මෙම පළාතේ ගොවි ජනතාවගේ භෝග ප්‍රවාහනය කිරීම සඳහා  විධිමත් ක්‍රමවේදයක් නැහැ.  ප්‍රවාහන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

රටේ ආර්ථිකය දරුණු අවපාතයකට ලක් වී තිබූ මොහොතක රට බාර ගෙන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකරන කාර්යභාරය ප්‍රශංසනීයයි

ජනාධිපතිවරයා රට බාරගන්නා විට ගෑස් තිබුනේ නෑ, ඉන්ධන තිබුනේ නැහැ, විදුලිය පැය දහයක් කප්පාදු කළා. විදේශ සංචිත බින්දුවටම වැටිලා තිබුණා. එවන් අවස්ථාවක ජනාධිපතිවරයා රට භාරගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

එම නිසාම අද උතුරු පළාතේ සංවර්ධනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබී  තිබෙනවා. උතුරු පළාතේ මාර්ග ව්‍යාපෘති කඩිනම් කිරීමට එතුමා අද උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීමටත්, සංචාරක කලාප දියුණු  කිරීමටත් පියවර ගනිමින් තිබෙනවා.

මෙම අවස්ථාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,  ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, වවුනියාව  දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත් චන්ද්‍ර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන්  යන මහත්ම මහත්මීන් සහ වවුනියාව, මන්නාරම හා මුලතිව්  දිස්ත්‍රික්ක නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.