උතුරු පළාත හුදෙක් සිතියම් කලාපයක් පමණක් නොව, සෑම සංචාරකයෙකුටම සහ අමුත්තෙකුටම සජීවී, සමෘද්ධිමත් සහ අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘උතුරු ශ්‍රී ලංකාව නැවත සොයා ගැනීම: තරුණයින් බලගැන්වීම සහ නව සංචාරක අනන්‍යතාවයක් නිර්මාණය කිරීම’ යන මැයෙන් පුහුණු පාඨමාලාවකට සහභාගී වූ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් 2025.11.13 බ්‍රහස්පතින්දා යාපනයේ ‘නෝර්ත් ගේට්’ හෝටලයේදී පැවැත්විණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වූ ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා සිය දේශනය අතරතුර තවදුරටත් මෙසේ පැවසීය.
උතුරු පළාත ගැඹුරු ඉතිහාසයක්, ඔරොත්තු දීමේ හැකියාව සහ අද්විතීය සුන්දරත්වයක් ඇති භූමියකි. නමුත් බොහෝ කාලයක් තිස්සේ එහි කතාව සංචාරක කර්මාන්තය තුළ අඩුවෙන් කියැවිණි. අද තරුණ පරපුරට එහි ඊළඟ පරිච්ඡේදය ලිවීමට කාලයයි.
සංචාරක ව්‍යාපාරය වෙරළ තීරයන් සහ වනජීවීන්ගෙන් ඔබ්බට ගොස් උතුරු පළාතේ ආත්මය සහ උරුමය විදහා දැක්විය යුතුය. නල්ලූර් කන්දසාමි කෝවිල, යාපනය කොටුව, මෙහි ජනතාවගේ ආහාර පිසීමේ උරුමය සහ ආගන්තුක සත්කාරය – මේ සියල්ල උතුරේ සැබෑ අනන්‍යතාවයට උදාහරණ වේ.
උතුරට අව්‍යාජ සංචාරක අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා තරුණයින් තම දැනුම, කුසලතා සහ නවෝත්පාදනයන් භාවිතා කළ යුතුය. හෙට දවසේ සංචාරක ව්‍යාපාරය හෝටල් ගැන පමණක් නොව, ඩිජිටල් මෙවලම්, තිරසාර භාවිතයන් සහ සමාජ යහපත ගැන ය.
උතුරු පළාත සඳහා අද්විතීය, තිරසාර සහ සැබවින්ම දේශීය අනන්‍යතාවයක් නිර්මාණය කිරීම තරුණයින් අතේ ය. රජයට සහ කර්මාන්තයට වේදිකාවක් නිර්මාණය කළ හැකි නමුත්, උතුරු සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වය මෙහෙයවනු ලබන්නේ ඔබේ ආශාව සහ වෘත්තීයභාවයයි. අවස්ථා ඔබ වෙත පැමිණෙන තෙක් බලා නොසිටින්න – ඒවා නිර්මාණය කරන්න, ආණ්ඩුකාරවරයා පැවසීය.
ඒ සමඟම, ආණ්ඩුකාරවරයා යාපනය නගරයේ පිරිසිදුකම සහ පාරිසරික ආරක්ෂාව අවධාරණය කළේය.
“සංචාරක කටයුතු සඳහා විශිෂ්ට ගමනාන්තයක් ලෙස යාපනය තෝරා ගැනීමත් සමඟ, නගරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව ද දායක විය යුතුයි. මෙය අපගේ වගකීමක්,” ඔහු පැවසීය. උතුරු පළාතට ගුවන් සහ මුහුදු ප්‍රවාහන පහසුකම් පුළුල් කරමින් පවතින බවත්, කොළඹ සහ යාපනය අතර ගමන් කාලය අඩු කිරීමට උත්සාහ කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික කාර්යාලයේ අධ්යක්ෂ, ෆොක්ස් රිසෝර්ට්ස් හි ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.










