උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පළාතේ ඩෙංගු තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමේදී දැනුම් දෙන ලදී. යාපනය දිස්ත්‍රික්කයේ මේ වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 2192 දෙනෙකු රෝගයට ගොදුරු ඇත.
අද (2023.12.14) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමේදී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. කනකේෂ්වරන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී. සත්තියමූර්ති, උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් , සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් Zoom තාක්ෂණය හරහා සහභාගි වූ අතර යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී මෙම සමාලෝචන රැස්වීම පැවැත්විණි.
කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකින් වුවද තත්ත්වය පාලනය වී ඇති බව ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරු සහ සෞඛ්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙහිදී යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සහ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීමේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව නිලධාරීන් විසින් ගරු ආණ්ඩුකාර තුමිය වෙත සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
ඒ අනුව ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගම් මට්ටමින් සාකච්ඡා කර ජනතාව දැනුවත් කරන ලෙස ගරු ආණ්ඩුකාර තුමිය උපදෙස් දුන්නාය. පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කළ යුතු බවත් අතහැර දමා ඇති ස්ථානවල අපද්‍රව්‍ය ගොඩගැසීම වැළැක්විය යුතු බවත් පැවසීය.
නඩත්තු නොකළ ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් හිමියන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ද ගරු ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දුන් අතර ඩෙංගු මර්දන කටයුතු සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙස ද ගරු උපදෙස් දුන්නීය.
එමෙන්ම උතුරු පළාතේ සියලුම පාසල්වල පන්තිවලට ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන යාමෙන් වළකින ලෙසත්, උදෑසන රැස්වීමේදී ඩෙංගු මර්ධනය පිළිබඳව සිසුන් දැනුවත් කළ යුතු බවටත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින් නියෝගයක් නිකුත් කළාය.
පළාතේ සියලුම රජයේ දෙපාර්තමේන්තු තුළ සතිපතා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දිය යුතු බවද දැනුම් දෙන ලදි.
ඩෙංගු මර්දන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවසූ අතර පොලිස් ස්ථානවල ඇති ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ ත්‍රිරෝද රථවලින් නිවේදන කටයුතු කළ හැකි බව ද දැනුම් දෙන ලදි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ගම් මට්ටමේ කටයුතු සඳහා පරිසර ආරක්ෂණ පොලිස් නිලධාරීන්ට ද සම්බන්ධ කර ගත හැකි බවයි.
ඒ අනුව සතිපතා ගම් මට්ටමේ සාකච්ඡා දැනුවත් කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙසත් රජයේ රෝහල්වල ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම වැඩිදියුණු කරන ලෙසත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
මීට අමතරව උතුරු පළාතේ පෞද්ගලික රෝහල්වල සේවය කරන රජයේ වෛද්‍යවරුන් ඩෙංගු උණ සම්බන්ධයෙන් සමාජ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන්ට උපදෙස් දෙන ලෙසත් ගරු ආණ්ඩුකාර තුමිය විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට දැනුම් දෙන ලදි.