මට්ටුවිල් ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආර්ථික මධ්‍යස්ථානය ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා, එය ලබන මස අග සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතාට ද සිය කෘතඥතාව පළ කළේය.
ආර්ථික මධ්‍යස්ථානය නැවත සක්‍රීය කිරීම පිළිබඳ සාකච්ඡාවක් අඟහරුවාදා (2025.08.12) උදෑසන යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් පසුව අදහස් දක්වන ආණ්ඩුකාරවරයා පැවසුවේ, යාපනය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් නොලැබෙන බව සැලකිල්ලට ගනිමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය ගොඩනගා ඇති බවයි. තෙවන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව ගොවීන් තම නිෂ්පාදන අලෙවි කළ යුතු බවට ද අප අපේක්ෂාවක් තිබුණි. යුද්ධයට පෙර කාලයේ කිලිනොච්චියේ රාත්‍රී වෙළඳපොළක් පවා පැවතුනි. දකුණු පළාතෙන් පැමිණි වෙළෙන්දන් එහි භාණ්ඩ මිලදී ගෙන ගිය බවද සිදුවී ඇත. නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම ආර්ථික මධ්‍යස්ථානය හැකි ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සිය කතාවේදී පැවසුවේ, උතුරේ යාපනය, කිලිනොච්චි සහ වවුනියාව යන දිස්ත්‍රික්ක තුනෙහි ආර්ථික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීම අපගේ සැලැස්ම බව පැවසීය. ඒ අනුව, යාපනය ආර්ථික මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී ලබන මස අග වන විට එය ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය. ඒ සමඟම, රටේ ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන එක් ආයතනයකට ඒකාබද්ධ කිරීම සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කුලියට ගත් වෙළෙන්දන් ඔවුන්ගේ තත්ත්වයන් ඉදිරිපත් කළහ. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට පහසුකම් සලසා දී තම මධ්‍යස්ථානය ජනප්‍රිය කිරීම සඳහා කටයුතු කරන ලෙසයි.
උතුරු සමූපකාර සංවර්ධන බැංකුවේ සභාපති ආචාර්ය අකිලන් කදිරගාමර් මහතා පැවසුවේ, පසුගිය වසර කිහිපය තුළ ආර්ථික මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොවීමට හේතුව බලධාරීන්ගේ පැකිලීම බවයි. තවද, දීර්ඝ කාලීනව ගබඩා කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිය ප්‍රථමයෙන් ආරම්භ කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම, මෙම ආර්ථික මධ්‍යස්ථානයේ සංකල්පය අනුව දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානවල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා එම ස්ථානවලින් කෘෂිකාර්මික නිෂ්පාදන මෙම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.
වඩමරච්චි, තෙන්මරච්චි සහ වලිකාමම් යන ප්‍රදේශ තුනටම සුදුසු ස්ථානයක ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවත්, එම ස්ථානය තේරීම සුදුසු බවත් සාකච්ඡාවේදී සඳහන් විය.එසේම නිශ්චිත කාල සීමාව තුළ වෙළඳුන් තම කටයුතු ආරම්භ නොකරන්නේ නම්, ඒවා ආපසු ලබාගෙන වෙනත් වෙළඳුන්ට ලබා දිය යුතු යැයි ද අදහස් දක්වන ලදී..
ආර්ථික මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත්, ලබන මාසය අවසන් වන විට එය ආරම්භ කරන බවත්, එය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊළඟ පියවර සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙම සාකච්ඡාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. ඉලංගුමාරන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම්, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වූහ.