යාපනය ආදර්ශ සෞඛ්‍ය නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ, හිස් කතා වලට සීමා නොවී, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතු බවත්, මීළඟ සාකච්ඡාවට පෙර නිශ්චිත ප්‍රගතියක් පෙන්විය යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නා. වේදනායකන් මහතා අදාළ නිලධාරීන්ට දැඩි උපදෙස් ලබාදී ඇත.
යාපනය සෞඛ්‍ය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති උසස් මට්ටමේ සාකච්ඡාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේස් පණ්ඩේව් මහතාගේ සහභාගීත්වයෙන්, අද (22.12.2025) සඳුදා සවස ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, “මෙම ව්‍යාපෘතිය යාපනය මහ නගර සභාව, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ උතුරු පළාත් සභාව එක්ව ක්‍රියාත්මක කරන එකමුතු උත්සාහයකි. යහපත් යටිතල පහසුකම්, වෛද්‍ය විශේෂඥත්වය සහ සමාජ සහභාගීත්වය එකට ඒකාබද්ධ කර, යාපනය ‘ආදර්ශ සෞඛ්‍ය නගරයක්’ බවට පත් කිරීම අපගේ අරමුණයි. එහිදී නගරයේ හදිසි ගැටලු විසඳීම පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතුය” යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත රාජේස් පණ්ඩේව් මහතා අදහස් දක්වමින්, “උතුරු පළාතේ මෑතකදී සිදුවූ ආපදාවෙන් පසු ඇති වූ තත්ත්වය මම පුද්ගලිකව නිරීක්ෂණය කළෙමි. සෞඛ්‍ය නගර ව්‍යාපෘතියක් සම්පූර්ණ වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය තුළින් පමණි. සමාජයේ අවශ්‍යතා මොනවාද? කුමක් කළ හැකිද? යන්න ජනතාවගෙන් අදහස් ලබාගෙනම මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතුය” යනුවෙන් පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ බොහෝ වාරයක් සාකච්ඡා කර තිබුණද, බොහෝ කරුණු තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
වසර හතකට පෙර යාපනය මහ නගර සභාව සහ කැනඩාවේ ටොරොන්ටෝ මහ නගරය අතර අත්සන් කරන ලද එකඟතාවය අනුව ක්‍රියාත්මක කළ යුතු කරුණු පිළිබඳවද මෙහිදී විස්තරාත්මකව විමර්ශනය කෙරිණි.
දිගු කාලීන අවශ්‍යතා එක් පැත්තක තිබියදී, වහාම කළ හැකි කාර්යයන් ද ප්‍රමාද කිරීම පිළිගත නොහැකි බව ආණ්ඩුකාරවරයා සඳහන් කළ අතර, ඉක්මන් ක්‍රියාත්මක කිරීම සඳහා උපකමිටුවක් පත් කිරීම පිළිබඳවද උපදෙස් ලබා දුන්නේය. එසේම, ක්‍රියාත්මක කිරීමට නියමිත ලැයිස්තුවේ ඇති සරල කරුණු මීළඟ රැස්වීමට පෙරම ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බවට නිලධාරීන්ට කාලසීමාවක්ද නියම කළේය.
මෙම සාකච්ඡාවට යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපති, ආණ්ඩුකාරවරයාගේ ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්යක්ෂ, අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, යාපනය කලාප අධ්‍යාපන අධ්යක්ෂ, පොලිස් උසස් නිලධාරීන් සහ පාසල් විදුහල්පතිවරු ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.






