මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ පවතින සිවිල් ඉඩම් පිළිබඳ ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල් වෙයි.

මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ සිවිල් ඉඩම් පිළිබඳ විශේෂ හමුවක් උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03  වනදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එම හමුවෙන් පසු ආණ්ඩුකාරවරයා අදාළ ඉඩම්  නිරීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ චාරිකාවක් ද කළේය.
මහවැලි එල් කලාපයට අයත් ඉඩම්වල ජීවත් වූ වැසියන් ආණ්ඩුකාරවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ සිය ඉඩම්වල  1984 වන තෙක් ඔවුන් පදිංචිව සිටි බවත් අවතැන් වීමෙන් පසු ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදු වූ බවත්  2012 දී නැවත පැමිණි විට ඔවුන්ගේ ඉඩම් භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබූ බවත් ය. විශේෂයෙන් එහි ඇතැම් ඉඩම් සිංහල ජනතාවට බෙදා දී ඇති බවද පෙන්වා දුන්හ.
ඒ අනුව ආණ්ඩුකාරවරයා සහ අදාළ නිලධාරීන් සිවන්තමරෙයිකුලම් ප්‍රදේශයට පැමිණියහ.
මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපයෙන් මහජනතාවට ලබා දී නොමැති ඉඩම් ගැසට් නිවේදනය මගින් නැවත ප්‍රකාශයට  පත් කරන ලෙසත් මාරිටෙම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ එක්ව අදාළ  පියවර ගැනීමට කටයුතු කරන  ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මහවැලි අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.