පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිර්මාණය කළ විශ්වවිද්‍යාල සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ශිෂ්‍යත්වයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය දෙවන වසර අධ්‍යාපනය හදාරමින් සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ පද්මනාදන් තුසාෆන් සිසුවා ආබාධිත පුද්ගලයින් සඳහා සංවේදී හස්තයක් නිර්මාණය කර තිබේ. එම නව නිපැයුමට ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කයිතඩිහි මහ ඇමති ලේකම් කාර්යාලයේ විශේෂ උත්සවයක් සංවිධානය කරමින් කියා සිටියේ  “යුද්ධය හේතුවෙන් කඩා වැටී නැවත නැගී සිටීමට උත්සාහ කරන දක්ෂයන් රට පුරා ඇති බවත් එම වටිනා උත්සාහයන් හඳුනාගෙන අප ඒවාට සහාය දැක්විය යුතු බවත්ය’

ආණ්ඩුකාරවරයා සිසුවාට සුබ පැතූ අතර ඔහුට ඇගයීමේ සහතිකයක්ද ලබා දුන්නේය. ඔහුගේ උපාධිය ලැබීමෙන් පසු, සිය පර්යේෂණ පුළුල් කිරීම සඳහා අරමුදල් සැපයීමටත්, විදෙස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීමටත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.

උතුරු පළාතේ ආබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශිෂ්‍යයාගේ අධීක්ෂණය යටතේ සංවේදී අත් 25 ක් සංවර්ධනය කරන බව පැවසූ ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සිසුවාට සමරු තිළිණයක් ප්‍රදානය කළේය..