
මගී ප්‍රවාහන සේවා නියමයන් උල්ලංඝනය කරමින් ජංගම දුරකථනය භාවිත කරමින් බස් රථය ධාවනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකු සේවයෙන් අත්හිටුවා ඇති අතර, පාසල් සිසුන් රැගෙන නොගිය තවත් බස් රථ රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකුට දැඩි අවවාදයක් නිකුත් කර ඇති බව උතුරු පළාත් මාර්ගී මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේස්වරන් මහතා පැවසීය.
මෙය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක ඔහු තවදුරටත් මෙසේ සඳහන් කර ඇත:
පසුගිය 25.01.2026 දින උදෑසන 9.45 ට පමණ මන්නාරමෙන් පිටත් වූ පෞද්ගලික බස් රථයක රියදුරා, තනංගිලප්පු දක්වා ගමන් කිරීමේදී මාර්ග ආරක්ෂාව හා සේවා නියමයන් උල්ලංඝනය කරමින් ජංගම දුරකථනයෙන් කතා කරමින් බස් රථය ධාවනය කළ බවට වීඩියෝ සාක්ෂි සමඟ පැමිණිල්ලක් ලැබී තිබුණි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව, අදාල බස් රථ රියදුරාට මීළඟ දැනුම්දීමක් දක්වා සේවයෙන් ඉවත් කිරීමේ පියවර ගෙන ඇත.
ඒ අතරම, පසුගිය 23.01.2026 දින දහවල් 1.40 ට පමණ මංගුලම් මහා විද්‍යාලයේ සිසුන් රැගෙන නොගොස් ගිය පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන්, පාසල් පාලනාධිකාරිය විසින් අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, අදාල බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විමර්ශනය සඳහා කැඳවා, විමර්ශන සිදු කර ඇති අතර, ඔවුන්ට නිල වශයෙන් දැඩි අවවාදයක් ද ලබා දී ඇත.
පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, මෙවැනි නියම උල්ලංඝන සම්බන්ධයෙන් ජනතාව සාක්ෂි සමඟ පැමිණිලි ඉදිරිපත් කළහොත්, අදාල පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් සුදුසු පියවර ගනු ලබන බවද අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇත.
