කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධීව ක්‍රියාත්මක වන වැලි ජාවාරම් හා වනරක්ෂිත ඉඩම් නීතිවිරෝධීව එලි පෙහෙලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්වීමටත් එම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කොට සැකකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්න පියවර ගන්නා ලෙසට අද පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලදි.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම අද (27) පැවති අතර එහිදී ආරක්ෂ අංශ වෙතට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් මෙන්ම කැලෑ එලිපෙහෙලි කිරීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියා නැවත්වීම සඳහා මහජනතාවගේද සහය ඇතිව කඩිනමින් පියවර ගන්නා ලෙසටයි.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ඉරණමඩු ,කල්ලාරු ,කිලාලි, මුරුසුමොට්ටෙයි, කුඩමුරුටි,කිලාලි,උපයාල්පුරම් , අක්කරායන්කුලම් සහ කුංජුපරන්තන් ඇතුලු ප්‍රදේශ රැසක සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් පිළිබඳව වීඩියෝ සහ ඡායාරූප දර්ශන පෙලක් දිස්ත්‍රීක් සංවර්ධන කමිටිු රැස්වීමේදී ප්‍රදර්ශනය වූ අතර පවත්නා නීතිරීති වැඩි කොට මෙම ජාවාරම් නැවත්වීමට කඩිනම් පියවර  ගැනීමට යුද හමුදාවත් පොලීසියත් සෙසු අදාල අංශත් එක්ව යම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය.

මේ වසරේදී නීතිවිරෝධී වැලි ජාවාරම්වල නිරත වූ ටිපර් රථ 158 ප්‍රමාණයක් සහ ට්‍රැක්ටර් රථ සියයකට ආසන්න ප්‍රමාණයක් කිලිනොච්චිය දිස්ත්‍රීක්යේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය මෙහිදී පෙන්වා දෙන ලදි.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ස්ථාන මාරුවීම් ලබා පැමිණි ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන් පවා ටිපර් රථ යොදා වැලි ජාවාරමේ නිරතවන බව මෙම රැස්වීමේදී අනාවරනය විය.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව පතා කිලිනොච්චිය නගර සීමාවේ මුරුකණ්ඩි සිට කිලිනොච්චිය නගරය දක්වාත් පරන්තන් මංසන්ධියේත් පාසල් පැවත්වෙන දිනයන්හි පෙරවරු 7 සිට 8 දක්වාත් පස්වරු 1 සිට 2 දක්වාත් ටිපර් රථ ඇතුලු බර වාහන ගමනාගමනය නැවත්වීමට මෙම රැස්වීමේදී තීරණය විය.

එසේම සෙසු වාහනවල වේග සීමාව පැයට කිලෝමීටර් 40 දක්වා අඩු කිරීමටත් තීරණය වූ අතර මෙම නීති උල්ලංඝනය කරන රියදුරන්  සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට මෙම රැස්වීමේදී තීරණය විය.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නැවත පදිංචි වූ ජනතාවගේ යටිතල පහස්‍රකම් නගා සිටුවීම විදුලිබල, වාරිමාර්ග, නිවාස, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, ජනාතවගේ ජීවින තත්වය නංවාලීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

උතුරු පලාත් ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ උතුරු පලාතේ ස්ථීර නිවාස 25,000 ක් ඉදිකිරීම , සූර්ය බලශක්තිය විදුලි උත්පාදන ව්‍යාපෘති ඇතුලු ජනතාවට සහන සැලසෙන ව්‍යාපෘති රැසක් රජය ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පැවසීය.

මෙම සාකච්ඡාවට උතුරු පලාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතා ඇතුලු පලාත් අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ,ආයතන ප්‍රධානීන් මෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් රූපවතී කේදීස්වරන් මහත්මිය සහභාගී විය.