ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ බස් නැවතුම්පොළ 9ක් පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇත

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ කොටසක් ලෙස රට පුරා බස් නැවතුම් පොළවල් 50 ක් පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පිහිටුවන ලද පළාත් මට්ටමේ කමිටුවේ පළමු රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේතනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (2025.08.18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

උතුරු පළාතේ යාපනය, නෙල්ලියඩි, පලෙයි, මුලතිව්, පුදුකුඩියුරුප්පු, මන්නාරම, නානාට්ටන්, වවුනියාව සහ වෙංගලචෙට්ටිකුලම් යන බස් නැවතුම් පොළවල් 9ක් මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගෙන ඇත.

මෙම බස් නැවතුම්පොළ පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය මට්ටමේ කමිටු පිහිටුවිය යුතුය. එසේ පිහිටුවනු ලබන කමිටුවල සභාපතිවරුන් වන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ය.

මෙම ව්‍යාපෘතියට ඇතුළත් බස් නැවතුම්පොළවල මූලික පහසුකම් ඇතුළු සියලු වර්ගවල පහසුකම් ඇගයීමට ලක් කර වාර්තාවක් සකස් කළ යුතු බවත්, ඒවා ප්‍රාදේශීය මට්ටමේ කමිටුව විසින් පරීක්ෂා කර පළාත් මට්ටමේ කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා අද පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

උතුරේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල බස් නැවතුම්පළ තෝරාගෙන ඇතත්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී පමණක් කිලිනොච්චි නගර බස් නැවතුම්පළ තෝරාගෙන නොමැති බැවින්, එය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය විය.

එලෙසම, මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් නගර බස් නැවතුම්පොළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වෙන් කරන ලද අරමුදල්වලින් සංවර්ධනය කිරීමට නියමිත බැවින්, ඒ වෙනුවට මාන්කුලම් බස් නැවතුම්පොළ මෙම ව්‍යාපෘතියට ඇතුළත් කිරීම පිළිබඳවද අද පැවැති සාකච්ඡාවේදී සලකා බලා මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.