උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ මාතෘ නේවාසිකාගාර 02ක් ප්‍රතිසංස්කරණය කොට විවෘත්ත කොට ජනතා අයිතියට පත්කිරීම 09 වනදා උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 38 ක මූල්‍ය ආධාර මත එම සාමාජිකයින්ගේද ප්‍රධානත්වයෙන් මන්නාරම් රෝහලේ නව වාට්ටු දෙකක් ජනතා අයිතියට පත්කරන ලදි.
මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, මන්නාරම් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්, මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛාවේ සභාපති ජේම්ස් පතිනාදන් මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් ද සහභාගී වූහ.
මාතෘ නේවාසිකාගාර විවෘත කළ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය එම නේවාසිකාගාරවල රැඳී සිටින ගැබිණි මව්වරුන් සහ ළදරුවන් බැලීමට ගොස් ඔවුන් සමග සුහදව සුවදුක් විමසන ලදි.
උත්සව අවස්ථාවට සහභාගී වූ ගරු ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ,
‘රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් රට හැර යාම දැවැන්ත අභියෝගයක් බවටත් එවැනි අභියෝග හමුවේ ජනතාව වෙනුවෙන් සේවාවන් සිදු කිරීමට සිදුව ඇති බවටය.
මන්නාරම සහ මුලතිව් රෝහල් දෙක ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවටද මේ වන විට අතහැර දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසුවාය.
මේ අතර, පළාතේ පවතින ‌සෞඛ්‍ය පිරිස් හිඟය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත්, ඊට අදාළ කටයුතු අදියර දෙකකින් ආරම්භ කර ඇති බවත් වසර 05ක නිවාඩු මත විදේශගත වීමට අවසර ඉල්ලා දිනකට අයදුම්පත් සිය ගණනක් ලැබෙන බවත්  එහිදී බුද්ධිමතුන් විදෙස්ගතවීම විශාල අභියෝගයක් වී ඇති බවත්ය.

එමෙන්ම ඩයස්පෝරා සබඳතා මාතෘභූමිය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන බවත් ඔවුන්ගේ සහය අගයන බවත් ඩයස්පෝරාවේ සහයෝගය මේ වනවිට ජනතාවට අවශ්‍ය වී ඇති අතර ඔවුන්ගේ ආයෝජන සහ සමාජ සුබසාධන කටයුතු ඉදිරියටද බලාපොරොත්තු වන බවත් උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.