උතුරු පළාත් කෘෂිකර්මයේ ජීවනාලිය ලෙස සැලකෙන ඉරණමඩු ජලාශය ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (21.12.2025) ඉරිදා දින පස්වරුවේ පෞද්ගලිකව නිරීක්ෂණය කළාය.
අද උදෑසන කිලිනොච්චියේ පැවැති ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයට ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය, එයට අනතුරුව දහවල් කාලයේ ඉරණමඩු ජලාශය වෙත ගමන් කළාය. එහිදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් සහ අදාල අංශවල නිලධාරීන් සමඟ ජලාශයේ ජල කළමනාකරණය හා භාවිතය පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක නිරත වූවාය.
ඉරණමඩු ජලාශයේ ජලය භාවිත කරමින් සිදුකරන යාල සහ මහ කන්නා කෘෂිකාර්මික කටයුතු පිළිබඳවද, ගොවීන්ගේ ජල අවශ්‍යතා පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය විමසා බැලුවාය. එමෙන්ම, ජලාශය මත රඳා පවතින නන්නිර් මත්ස්‍ය ආර්ථිකය හා මත්ස්යකරුවන්ගේ ජීවනෝපාය තත්ත්වය පිළිබඳවද ඇය නිලධාරීන්ගෙන් විස්තරාත්මකව විමසා ගත්තාය.
මෑත කාලීන අයහපත් කාලගුණය සහ ගංවතුර ව්‍යසනවලදී ජලාශයේ ආරක්ෂාව සහ ජල කළමනාකරණය සම්බන්ධයෙන් ගෙන ඇති හදිසි පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගෙන් විස්තරාත්මකව විමසීය. අනාගතයේදී එවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට ඇති සූදානම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ඇති පානීය ජල හිඟය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශේෂ අවධානයක් යොමු කළාය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද, ඉදිරියේදී යෝජිත නව ව්‍යාපෘති පිළිබඳවද ඇය නිලධාරීන් සමඟ සාකච්ඡා කළාය.
මෙම සංචාරයේදී ගරු කථානායක ජගත් වික්‍රමරත්න, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන්, සහකාරී සංවර්ධන කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සු. මුරලිධරන්, උතුරු පළාත් ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, කිලිනොච්චි දිස්ත්‍රික් නියෝජ්‍ය ජල සම්පාදන අධ්යක්ෂ සහ ඉරණමඩු ජලාශයට වගකිව යුතු ජල සම්පාදන ඉංජිනේරුවරයා ඇතුළු උසස් නිලධාරීන් අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.




