අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි

අස්වැසුම සුබසාධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡාවක් 2024.02.13 දින මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියද සහභාගී වූවාය. අස්වැසුම සුබසාධන ව්‍යාපෘතිය රටපුරා ප්‍රවර්ධනය කර ඇති අතර එහි දෙවන අදියර මේ මස 15 වැනිදා ආරම්භ කිරීමට යෝජිතය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවල සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා පළාත් සභාවල සහයෝගය ලබා ගැනීමේ අරමුණින් අද සාකච්ඡාව පැවැත්විය.
අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ පළමු අදියරේදී රටපුරා අභියාචනා මිලියන 1.1ක් ලැබී තිබුනු අතර ඒහි අභියාචනා විභාග අවසන් කර ප්‍රතිලාභීන්ගේ දත්ත පළමුව සම්පූර්ණ කළේ උතුරු පළාත බව මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
උතුරු පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල දත්ත සුදානම් බවත් මේ හරහා නව පරිශීලකයින් තෝරා ගැනීම පහසු වන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසීය. මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමෙන් නිසි ඉලක්කය සපුරා ගත හැකි බවද අඩු ආදායම්ලාභී පවුල් සඳහා තිරසාර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.