උතුරු පළාත් පොදු සේවයට එක්වන නව නිලධාරීන් අවංකව හා ගෞරවනීය ලෙස උපරිම සේවයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි – ආණ්ඩුකාර නා. වේදනායගන් පවසයි.

කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් හෝ දූෂණ වංචාවකින් තොරව ඉතා විනිවිදභාවයකින් යුතුව උතුරු පළාත් පොදු සේවයට එක්වන නව නිලධාරීන්, එම අවංකභාවයෙන්ම සහ ගෞරවයෙන් යුතුව ජනතාවට විශිෂ්ට සේවාවක් සැපයීමට කැපවිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.

උතුරු පළාත් පොදු සේවයේ පුරප්පාඩුව පැවති පදිංචි කිරීමේ නිලධාරීන් (Colonization Officers) 03 දෙනෙකු සහ රියදුරන් 48 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (24.03.2026) අඟහරුවාදා පස්වරුවේ උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය:
“පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් නව රජයේ පත්වීම් ලබා දීමක් සිදු නොවීය. 2020 වසරේදී දිවයින පුරා විශේෂ පත්වීම් කිහිපයක් ලබා දුන්නද, උතුරු පළාත ඒ සඳහා ඇතුළත් කර නොතිබුණි. වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත්වීමත් සමඟ අප පළාතේ පවතින කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව අප සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර, කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම නව පත්වීම් ලබා දීමට අවසර හිමි විය.

ආරම්භයේදී රියදුරු සේවය සහ කාර්යාල කාර්ය මණ්ඩල සේවය සඳහා පත්වීම් ලබා දීමට අපට අවසර ලැබී තිබුණේ නැත. කෙසේ වෙතත්, ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම කරුණු ඔහුගේ අවධානයට යොමු කළෙමු. එම අවස්ථාවට ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාද එක්ව සිටියේය. ඔවුන් දෙපළගේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද දින මෙම පත්වීම් ලබා දීමට අපට හැකි වී තිබේ.

මෙම පත්වීම් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් හෝ නිර්දේශිත ලැයිස්තු මත නොව, ඔබගේ සුදුසුකම් මතම පදනම්ව හිමි වූ ඒවා වේ. මෙම රජය බලයට පත් නොවන්නට මෙවැනි සාධාරණ අවස්ථාවක් ඔබට ලැබේද යන්න සැක සහිතය.

විශේෂයෙන්ම රියදුරු පත්වීම් ලැබූ ඔබ රජයේ නිලධාරීන් වගකීමෙන් යුතුව ප්‍රවාහනය කිරීමට නියමිතයි. එබැවින් ඔබ සැමවිටම අවධානයෙන්, ක්‍රියාශීලීව සහ ඉහළ විනයකින් යුතුව රාජකාරි කළ යුතුය. ඔබ මොහොතක් හෝ පමාවීමෙන් විශාල අනතුරු සිදුවිය හැකිය.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට වඩා අනෙකුත් දිස්ත්‍රික්ක හතරේ කාර්ය මණ්ඩල හිඟය සහ සේවා අවශ්‍යතාවය වැඩිය. එම යථාර්ථය වටහාගෙන උතුරු පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ඔබ සැමවිටම සූදානම් විය යුතුය.”

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් මහතා, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.