“2026 වර්ෂය සංවර්ධනයේ වර්ෂයයි; නිලධාරීන් කඩිනම් තීරණ ගනිමින් ‘සංවර්ධන පරිපාලනය’ සඳහා සූදානම් විය යුතුයි” – ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගම් මහතා

“2026 වර්ෂය සංවර්ධනයට අදාළ වර්ෂයකි. එබැවින් නිලධාරීන් ‘සංවර්ධන පරිපාලනය’ (Development Administration) ඉදිරියට ගෙන යාමට සූදානම් විය යුතුය. සාමාන්‍ය පරිපාලනය මෙන් නොව, සංවර්ධන පරිපාලනය ක්‍රියාත්මක කිරීමට කඩිනම් තීරණ ගැනීමේ හැකියාව සහ කාර්යය සඳහා කැපවීම ඉතා අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රතිපත්තිය සමඟ සියලු දෙනා අප සමඟ එක්ව ගමන් කළ යුතුය,” යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගම් මහතා පැවසීය.

උතුරු පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කොමසාරිස්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද සෙනසුරාදා (14.02.2026) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ගරු ආණ්ඩුකාරතුමා විසින් ලබා දුන් ප්‍රධාන උපදෙස් පහත පරිදි වේ:

“පසුගිය 2025 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳ පසුවිපරම් (Feedback) ලබාගෙන එය මුදල් කොමිෂන් සභාවට සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කල යුතුය. පසුගිය වසරේ මුහුණ දුන් අභියෝග සහ අත්දැකීම් පාඩමක් ලෙස ගෙන මෙම වසරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.

2026 වර්ෂය සඳහා වන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු කටයුතු වහාම ආරම්භ කළ යුතුය. උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු මේ වන විටත් ටෙන්ඩර් කැඳවීම් ප්‍රසිද්ධ කර තිබීම පැසසුමට ලක් විය යුතුය. අනෙකුත් අමාත්‍යාංශ ද මෙම කටයුතු කඩිනම් කළ යුතුය.

පසුගිය වසරේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවලදී කොන්ත්‍රාත්කරුවන්ගේ වැඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වී ඇත. එබැවින්, ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට හෝ ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.

කාර්යාලවලට පමණක් සීමා නොවී, සෑම අමාත්‍යාංශයක්ම සෑම මසකම පළාතේ එක් ගම්මානයක් තෝරාගෙන, එහි සෘජුවම ගොස් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටු කළ යුතුය. මේ සඳහා අමාත්‍යාංශ විසින් වෙනම යාන්ත්‍රණයක් සකස් කර ගත යුතුය.

දෙපාර්තමේන්තු නිරීක්ෂණය කිරීම සඳහා සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකු මඟින්ම පිහිටුවා ඇති ‘හදිසි විමර්ශන ඒකක’ (Flying Squads) වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුය. රාජ්‍ය නිලධාරීන්ගේ කාල කළමනාකරණය සහ සේවා සැපයීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් මට සෘජුවම පැමිණිලි රැසක් ලැබේ. මෙම විමර්ශන ඒකක ක්‍රියාශීලීව කටයුතු කළහොත් මෙවැනි අඩුපාඩු මඟහරවා ගත හැකිය.

සමහර පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන් සහ ලේකම්වරුන් අතර සුහද සම්බන්ධතාවයක් නොමැති තත්වයක් දක්නට ලැබේ. දෙපාර්ශවයෙන්ම දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් වේ. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා විසඳුම් ලබා දෙනු ඇත.

මෙම වසරේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්, අතිරේක වැඩ සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටම සිදු කළ යුතුය. එමෙන්ම, සාමාන්‍ය වැඩසටහන් කඩිනමින් අවසන් කර සංවර්ධන කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය,” යනුවෙන් ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය.

ලබන මස සිට සෑම අමාත්‍යාංශයකම ප්‍රගති සමාලෝචන රැස්වීම් වෙන වෙනම පැවැත්වෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.